Monday, March 11, 2019



ප්‍රබුද්ධත්වය හා ප්‍රගතිය - ස්ටීවන් පින්කර්

ස්ටීවන් පින්කර් පිළිබඳ තැන තැන කියවෙන නිසා මට හිතුන ඒ ගැන යමක් ලියන්න. පින්කර් කියන්නේ 
කැනඩාවේ ඉපදුන දැනට හාවඩ් සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙක්. මම ලියන්න 
යන්නේ එයාගේ අලුත් පොතක් වන ‘Enlightenment Now - The case for Reason, Science, 
Humanism and Progress’ පිළිබඳව.

පින්කර්ගේ මූලික අදහස අද ලෝකයේ අපි අත්පත් කරගෙන ඉන්න සංවර්ධනයට ‘හේතුව’, ‘විද්‍යාව’ හා 
‘මානවවාදය’ නම් ප්‍රබුද්ධත්ව යුගයේ නිර්මානය කරගත් වටිනා කම් නිසා බවත් අද වෙනකොට මේ 
වටිනා වලට පහර වැදීම නිසා ඒවා දුර්වල වෙමින් යන බවත් අවසාන වශයෙන් අප ඒවා ආරක්ෂා කළ 
යුතු බවත්ය. මේ කෘතියේ අරමුණ මේ වටිනාම් ආරක්ෂා කරගැනීම සඳහා හේතු පවතින බව පෙන්වා දීමයි.

ඔහුගේ කෘතිය මඟින් අවසානයේ ධනාත්මක චිත්‍රයක් මැවීම මේ උත්සාහයේ අතුරුඵලයක් විනා එහි 
මුඛ්‍ය අරමුණ නොවන බවත් ඔබට පෙනේවි. 

කෘතියේ ආරම්භයේදීම කාන්ට් නම් දාර්ශනිකයා උපුටමින් ඔහු සඳහන් කරන්නේ මිනිසා ස්වභාවයෙන්ම
 ආගමික හෝ දේශපාලනික ආධානග්‍රාහීතවයට යටත් වීමෙන් ගැලවීම සඳහා ප්‍රබුද්ධත්ව යුගයේ සටන් 
පාඨය වූයේ ‘වටහාගැනීමට බිය නොවනු’ (Dare to understand) යන්න බවයි. අධිකාරීයෙන් පරිබාහිව 
මිනිසුන් වන අපටද දේවල් තේරුම් ගත හැකිය යන්නට ඉතිහාසයක් ඇත. එය ඉබේ පහළ වූවක් නොවේ.
 එය ප්‍රබුද්ධත්ව යුගයේ දායාදයකි. ප්‍රබුද්ධත්ව යුගය 18වන සියවසේ අවසාන භාගයත් 19 වන සිය වසේ 
මුල්භාගයත් අයත් වෙනව කියල සැලකෙනවා. හේතුවේ යුගය (age of Reason) 17වන යුගයයෙන් 
පටන් අරගෙන ප්‍රබුද්ධත්ව යුගයෙ අවසානය එනම් 19 වන සිය වසේ මුල්භාගය දක්වා විහිදෙනවා. 
පින්කර් කියනව මේ යුගයේ තේමාව ලෙස හේතුව, විද්‍යාව මානවවාදය හා ප්‍රගතිය යන ඒවයේ එකට
 බැඳීම ලෙස සලකන්න පුළුවන් කියල.

හේතුව

මෙහි මූලික කාරණාව තමා ආධානග්‍රාහී විදියට දෙවියන් ඇදහීම ප්‍රතික්ෂේප කිරීම. මිනිස්සු විවිධ ආකාරයට විවිධ 
දේවල් ඇතිවී ඇති හේතූන් හොයන්න පටන් ගත්තා. මෙහි අදහස මිනිස්සු බොහොම රැෂනල් කියන එක නෙවෙයි. 
මිනිස්සු ස්වභාවයෙන්ම වගේ අහේතුක විශ්වාසයන්ට බැඳෙන්න දක්වපු නැමියාව සමඟ සටන් කරන්න හේතුවට 
හැකිය කියන විශ්වාසය තමයි මෙතනදි ආවේ. විශ්වාසය, භක්තිය, සුභාරංචිය, කැරි්ස්මාව, දේවත්වය, පුද්ගල ප්‍රත්‍යක්ෂය,
 පුරාණ පොත් වෙනුවට හේතුව මඟින් ලෝකය වටහා ගත හැකිය යන විශ්වාසය.

විද්‍යාව

හේතුව විද්‍යාවට මඟ පෑදුවා. විද්‍යාත්මක සොයාගැනීම් අපි අද බොහොම හුරුපුරුදු දේ ලෙස සැලකුවත් 1600 ගනන් 
වල ජීවත් වුණ කෙනෙක්ගෙ ජීවිතේ හූනු සාත්තර, දෙහි ගෙඩි, පරන රෙදි කෑලිවලින් මීයො උපදිනවය, අකුණු, වැස්ස 
ඇති කරන්නෙ දෙවියන්ය වගේ මිත්‍යා විශ්වාස වලින් පිරිලයි තිබුණේ. පිටත ලෝකය අහඹු පිටස්තර විඥානයක 
අත්තනොමතිකත්වයකට යටත් කියල ඒ අය හිතුවේ. එහෙම ලෝකයක් මනුෂ්‍යාට තේරුම් ගන්න බෑ කියල හිතන 
එක තාර්කිකයි. විද්‍යාව ගොඩනැගුනෙ විශ්වසාධාරණ හේතූන් මත ලෝකය ක්‍රියාකරනවය කියන විශ්වාසය මත. ඉතින්
 විදුලි කොටන්නේ දෙවිකෙනෙකුගෙ අභිමතය ය යන අදහස වෙනුවට සියලු විදුලිකෙටීම් පසුපස පොදු හේතුවක් ඇතිය
 කියන විශ්වාස මත ඒවා ගැන අධ්‍යයනය කරන්නපටන් ගත්තා. ඉතින් විශ්වසාධාරණ මනුෂ්‍ය ස්වභාවයක් ඇති කියන
 විශ්වාසය මත මොළයේ භෞතික ක්‍රිකාරීත්වය මත සිතීම, හැඟීම්, මනොව්‍යාධිවේදය පැහැදිලි කළ හැකි යැයි විශවාස
 කළ ඥානන ස්නායුමනෝවිද්‍යාඥයින්ද,  සත්ව සහජාශයන් අප තුළ පැළපදියම් වී ඇති ආකාරය සොයන පරිණාමීය
 මානවිද්‍යාඥයන්, සමාජීය මානයන් අප තුළ ක්‍රියාකරන ආකාර පිළිබඳ අධ්‍යයනය කළ සමාජ මනෝවිද්‍යඥයන් ආදී 
වශයෙන් ඇති වුණා.

මානවවාදය

විශ්වසාධාරණ මානව ස්වභාවයක් ඇතැයි කියන අදහස මතින් තමා මානවවාදය ඇති වුනේ. ප්‍රබුද්ධත්ව යුගයේ 
චින්තකයෝ තේරුම්ගත්තා සදාචාරය සඳහා ලෞකික පදනමක් අවශ්‍ය බව. ඔවුන් ගෝත්‍රයට, ජාතියට, වර්ගයට, 
ආගමට වඩා ගැහැණුන් පිරිමින් දරුවන් ආදී ‘තනි තනි’ මනුෂ්‍යයන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වයක් දෙන මානවවාදයකට
 පදනම දැමුවා. වේදනා විඳින්නෝ හැඟීම් දැනෙන්නෝ සතුට විඳින්නෝ තනි තනි මනුෂ්‍යයා මිසක කණ්ඩායම නොවේ.
 මානවවාදය යනු මේ පුද්ගල යහපැවැත්ම ප්‍රමුඛත්වයට ගැනීමයි. සදාචාරය විසින් සැලකිල්ලට ගතයුතු වන්නේ පුද්ගල 
විඳවීම බවත් එය බහුතරයේ සතුට සාක්ෂාත් කිරීම, මිනිසුන් අරමුණු සඳහා මධ්‍යයක් කර නොගෙන මිනිසුන්ගේ යහපත 
අරමුණු කරගෙන කටයුතු කළ යුතු බවත්, මනුෂ්‍යයාගේ විඳවීමට හෝ නැඟීමට ඇති විශ්වසාධාරණ ධාරීතාව අදී ලෙස 
විවිධ චින්තකයන් මඟින් එය ප්‍රකාශයට පත් වුණා. අප ලෝක වැසියන් බවට පත් කරන කොස්මොපොලිටන්වාදයකට 
මඟ පෑදුනා. එහි ප්‍රතිඵලයක් ලෙස වහල්සේවය, ඒකාධිපතිවාදය, සුළු සුළු වැරදි වලට මරණිය දණ්ඩනය පැනවීම, 
කසපහර දීද, අත්පා කපා දැමීම, උලතැබීම, බඩවැල් එළියට ඇදීම, ආදී පරපීඩාකාමී දඬුවම් ආදිය හෙළාදැකීමට 
හේතු වුණු මානවවාදී සංවේදීභාවයක් ඇති වුණා. අවුරුදු දහස් ගනනක් පැවති මිලේච්ඡ භාවිතාවන්ගෙන් ගැලවීමට 
හැකි වූයේ මානවවාදය නිසයි.

ප්‍රගතිය

වහල්සේවය අහෝසි කිරීම, කෲර දඬුවම් මුලිනුපුටා දැමීම ප්‍රගතිය නොවේ නම් ප්‍රගතිය යනු කුමක්දැයි පින්කර් ප්‍රශ්න 
කරනවා. විද්‍යාව තුළින් ලෝකය පිළිබඳ අපගේ වටහාගැනීම දියුණු වීමත්, අනෙකා කෙරෙහි අපට කම්පා වීමට ඇති 
හැකියාව හේතුව, කොස්මොපොලිටන්වාදය (අප ලෝක වැසියන්ය කියන අදහස), මානවවාදය ආදිය තුළින් ප්‍රසාරණය 
වීමත් නිසා අපට බුද්ධිමය හා සදාචාරාත්මක ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකි වුණා. ප්‍රගතිය ලෙස අප සැලකිය 
යුත්තේ මානවවාදය මඟින් මඟපෙන්වන ලද ප්‍රගතියයි. ජීවත් වීමට, නිදහසට, සතුට හඹා යාමට ඇති අයිතිය ජනයාගේ 
කැමත්ත මතින් ලබනා බලය මඟින් පාලනය වන රාජ්‍යය ආදිය එහි ඵලයන්ය.

වරදට දඬුවම් කිරීම, අපට විශ්වීය යුක්තිය පසිඳලීම සඳහා අප වෙත පැවරී ඇති බලයක් ක්‍රියාත්මක කිරීමක් නොව 
සමාජවිරෝධී හැසිරීම් අධෛර්යමත් කිරීමේ ව්‍යුහයක කොටසක් සේ සකස් විය යුත්තක් බවත් මොන්ටෙස්කු සිසරේ 
වැන්නන් අතින් කියවුණා. එනිසා දඬුවම මඟින් එවැනි ඵලදායී ව්‍යුහයක්. නඩත්තු කිරීමට අවශ්‍ය තරමට විනා අනවශ්‍ය 
ලෙස අපරාධකරුවා විඳවීමට අවශ්‍ය නොවන බව කියවුණා. අපරාධයට ගැලපෙන පරිදි දඬුවම් දීම යම් විශ්වීය යුක්තියක් 
පසිඳලීමට නොව ඔවුන් වඩා දරුණු අපරාධ කිරීමට පෙළඹවීම වලක්වාලීම සඳහා සකස් විය යුතු ක්‍රමයක් ලෙසයි දකිනු 
ලැබුවේ. ප්‍රගතිය යනු කුමක්දැයි ඔබට පැහැදිලි ඇති

ප්‍රබුද්ධත්ව යුගයේදී සමෘද්ධිමත්භාවය පිළිබඳවත් තාර්කික විශ්ලේෂණයන්මතු වෙන්න වුණා. ඇඩම් ස්මිත් කිව්වා 
ප්‍රයෝජනවත් භාණඩ වල බහුලතාවය ගොවියෙකු හෝ කාර්මික ශිල්පියෙකු තනි තනිව කටයුතු කිරීමෙන් ලඟා කරගත 
හැකි නොවන බවත් එය විශේෂඥයන්ගේ (එනම් යමක් කිර්යක්ෂමව නිර්මාණය කිරීමට හැකි තැනැත්තන්ගේ) ජාලයක් 
මඟින් යථාර්ථවත් කර ගත හැකි බවත් කිව්වා. ස්මිත් ආර්ථික ක්‍රියාකාරකම් හැඳින්වූයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක
 වූ සහභාගීත්වයක් ලෙසයි.  ලුඩිවිගු වොන් පැවසුවේ ඇඳුම් මසන්නා බේකරිකරුවා සමඟ යුද්ධයට යන්නෙ නම් ඇඳුම් 
මසන්නා තමාගේ ආහාර තමන්ම සකසාගැනීමට සිදුවන බවයි.ඒ අනුව වෙළඳපොළෙහි වර්ධනය යනු ප්‍රගතියයි.
අනතුරුව පින්කර් ප්‍රති-ප්‍රබුද්ධත්ව එනම් ප්‍රබුද්ධත්වයට විරුද්ධ පරමාදර්ශ පිළීබඳ සාකච්ඡා කරයි. රූසෝ හර්ඩර් හා 
ෂෙලින්ග් වැන්නන්ගේ ප්‍රමුකත්වයෙන් යුතුව පැන නැගි රොමෑන්තිකවාදය ප්‍රබුද්ධත්වයට විරුද්ධව නැග ආ 
ප්‍රති-ප්‍රබුද්ධත්ව පරමාදර්ශ ලෙස පින්කර් හඳුනාගනී. හේතුව හැඟීමෙන් වෙන් කළ නොහැකි බවත් පුද්ගලයන් ඔවුන්ගේ 
සංස්කෘතියෙන් වෙන් කළ නොහැකි බවත් මිනිසුන් ඔවුගේ ක්‍රියාවන්ට හේතු දැක්වීම අනවශ්‍ය බවත් සර්වකාලීන 
සර්වව්‍යාපී වටිනාකම් නොමැකි බවත් සාමය හා සමෘද්ධිය සැමවිටම යහපත් අවසානයන් සේ සැලකිය නොහැකි 
බවත් ය. මානවයකු යනු සංස්කෘතිය, වර්ගය, ජාතිය, ආගම, ස්පිරිතුව හෝ ඓතිහාසික බලවේගයන්ගේ ඓයින්ද්‍රීය
 සමස්තයක කොටසක් බවත් ය. මිනිසුන් යනු මෙම අනුභුතිඋත්තර ඒකත්වයක ප්‍රකාශමාන වීමක් බවත්ය.
 මිනිසුන්ගේ ගැටළු විසඳීම නොව ධීරවීර අරගලය ඉහළම යහපත බවත් ප්‍රචණඩත්වය සොබාදහමේ කොටසක් 
බවත් එහි ජීවගුණය නසන්නේ නැතිව ප්‍රචණ්ඩත්ය ඉවත් කළ නොහැකි බවත්ය. ආගම් ද මානවවාදය හා 
ගැටෙන්නේ එය සදාචාර යහපත මානයවයන්ගේ යහපැවැත්මට ඉහළින් තැබීමට උත්සාහ කරනා විටය. 
ආත්මයන් ජීවිත වල වටිනාකමට වඩා ඉහළින් තැබීමට උත්සාහ දැරීමේදීය. මරණින් මතු ලෝකය මේ භවයේ 
ජීවිතය වටිනාකම පහත හෙළයි, නොතැකිය යුතු දෙයක් බවට පත් කරයි. 

අනෙක් ප්‍රති-ප්‍රබුද්ධත්ව අදහස නම් ජාතිකවාදයයි. එමඟින් මිනිසුන් ජාතිය/ ජාතික රාජ්‍ය නම් සුපිරිසත්වයාගේ පැවැත්ම
 වෙනුවෙන් බිලිදිය හැකි නොතැකිය හැකි නොවැදගත් ඒවා බවට පත් කරයි. ජෝන් එෆ් කෙනඩි පැවසූවේ ඔබ 
වෙනුවෙන් රටට කළ හැකි දෑ නොව රට වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්දැයි අසන ලෙසයි. පුද්ගලයෙකු බොහෝ 
දෙනෙක් වෙනුවෙන් තමාගේ දේ කැපකිරීම යහපත් නමුත් යම් කැරිස්මැටික නායකයෙකු වෙනුවෙන්, කොටු හැඩයේ 
රෙදි කැබැල්ලක්, සිතියමක එක් පාට කොටසක් වෙනුවෙන් ජීවිතය කැපකරන ලෙස බල කිරීම වෙනත් යමකි.

අනෙක නම් ප්‍රතිමානවවාදී පරිසරවාදයයි. මේ රොමෑන්තික පරිසර ව්‍යාපාරය ශක්ති උද්ධරණය දකින්නේ එන්ට්‍රොපියට
 එදිරිව මානවයාගේ යහපැවැත්ම සහතික කරන්නක් ලෙස නොව සොබාදහමට එදිරිව කරනා දරුණු අපරාධයක් ලෙසයි.
 ඔවුන් යෝජනා කරන්නෙ මානව ප්‍රගතිය අතහැර නැවත සරල දිවිපෙවතක් දෙසට යොමු වීමයි.

මීට අතරව විවිධ ආකාරයේ පරිහානිවාදයන් (declinism) ද ප්‍රබුද්ධත්වයට එරෙහිව ක්‍රියා කරයි. විවිධ තාක්ෂණයන් 
විසින් (cyberterror, bioterror etc) ලෝකය විනාශ වනු ඇති බව මෙහිදී පැවසේ. නිමක් නොමැති වාර්ගික, ආගමික, 
දේශපාලනික ලෝකවිනාශයන් පිළිබඳ නිතිපතා බියගන්වනු දැකිය හැකිය.

අනෙක් ප්‍රති-ප්‍රබුද්ධත්ව අදහස නම් විද්‍යා විරෝධයයි. විද්‍යාව යනු තවත් එක් ආඛ්‍යානයක් පමණක් බවට පත්ව ඇති අතර
 මානව ශාස්ත්‍ර පීඨවලට වැද්දා නොගැනීමටත් එවැනි අවකාශවල විද්‍යාවාදය ලෙස එය ගර්හාවට පත් කරනුත් දැකිය 
හැකිය. වර්ගවාදය, අධිරාජ්‍යවාදය, ලෝකයුද්ධ හා සමූලඝාතන වෙනුවෙන් විද්‍යාවට බැනුම් ඇසීමට සිදු වී ඇත. පොදු 
මානවයාගේ ද්‍රව්‍යමය ජීවිතය යහපත් කිරීම නීරස ඒකකාරී කාර්යයක් වී ඇත                    
(2 කොටස)

ප්‍රගතිභීතිකාව

පින්කර් උපහාසාත්මකව පවසන්නේ බුද්ධිමතුන් ප්‍රගතියට වෛර කරනා බවත් තමන් ප්‍රගතිශීලීන් යයි කියාගන්නා 
බුද්ධිමතුන් අන් සියල්ලන්ටම වඩා ප්‍රගතියට වෛර කරනා බවත් ය. පිහාටු පෑන වෙනුවට ලැප්ටොප් එකක් භාවිතා 
කරන ශල්‍යකර්මයකදී  නිර්වින්දක සහිත ව මිස රහිතව එය සිදුකිරීමට කැමති වන ඔවුන් ඇත්තටම අකමැති වන්නේ 
ප්‍රගතිය නම් අදහසටයි. ඔබ ‘දැනුමට’ ගැටළු විසඳීමට හැකි යැයි විශ්වාස කරන්නේ නම් ඔබට ඇත්තේ ‘අන්ධ විශ්වාසයකි
 (blind faith)’, ‘අර්ධ-ආගමික විශ්වාසයකි (quasi-religious belief)’, ‘පරණතාලේ අන්ධවිශ්වාසයකි (outmoded 
superstition)’, ‘පෙරට ගමන් කිරීමේ (onward march)’ හෝ ‘අනිවාර්ය ප්‍රගතියේ (inevitable progress)’  මිත්‍යාව
 පිළිබඳ ’‘ව්‍යාජ පොරෝන්දුවකි (false promise)’.

‘බටහිර ඉතිහාසයේ පිරිහීම නම් අදහස’ නම් කෘතියෙහි ආතර් හර්මන් පෙන්වා දෙන්නේ විනාශය පිළිබඳ අනාගත 
වක්තෘන් ලිබරල් කලා විෂය ක්ෂේත්‍රයන් තුළ සුපර්ස්ටාර්ලා බවයි. ඔවුන් අතර නිට්ෂේ, ෂොපන්හවර්, හයිඩගර්, 
ඇඩර්නෝ, වෝල්ටර් බෙන්ජමින්, මාකුසේ, සාත්‍ර, ෆැනොන්, ෆූකෝ, සයිද්, කෝනෙල් වෙස්ට් වෙති. හර්මන් ‘ගැටුම් හා
 ගැටළු ඇති කරන්නේ මිනිසුන් නිසා ඔවුනටම ඒවා විසඳාගත හැකිය’ අදහස 20 වන සියවසේ මහත් පසුබෑමක් 
නිරීක්ෂණය කරයි.

පින්කර් නිරීක්ෂණය කරන්නේ සාමාන්‍ය ජනයා ද ඔවුන් ඉන්ටලෙක්චුවල් මෝඩ් එකට පැමිණි වහාම ලෝකය ක්‍රමයෙන් 
විනාශ වෙමින් තිබේය යන මතයට පැමිණෙන බවයි. තමන්ගේ පුද්ගලික ජීවිතය යහපත් වී ඇති මුත් අනෙක් අයගේ 
ජීවිත ගැන ඇත්තේ නිශාධාත්මක ආකල්පයකි. යුරෝපීයන්ගේ මතවිමසීමකදී තමන්ගේ ආර්ථික තත්වය ඉදිරියේ දී 
යහපත් වන බැව් ප්‍රකාශ කළ බොහෝ දෙනා රටේ ආර්ථිකය පිළිබඳ දැරුවේ බෙහෙවින් නිශාධාත්මක අදහසකි. 1992 
සිට 2015 දක්වා බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුණත් බහුතර ඇමෙරිකානුවන් දැරූ මතය වූයේ අපරාධ වැඩි වෙමින් පවතින
 බවයි. 2015 දී ලෝකයේ දියුණුම රටවල් 11හි බහුතර මතය වූයේ ලෝකය එන්න එන්නම අයහපත් තත්ත්වයට පත් 
වෙමින් ඇති බවයි. ඇත්තටම ඔවුන් නිවැරදි ද?

ලෝකය පිළිබඳ නිශාධාත්මක චිත්‍රයක් ඇති වීමට එක් හේතුවක් නම් අපට දිගිනු දිගටම මාධය හරහා වාර්තා වන්නේ 
සෘණාත්මක ප්‍රවෘත්ති වීමයි. මනොවිද්‍යාඥ අමෝස් ට්වස්කි හා කනෙමන් විසින් මෙය හඳුන්වන්නේ තමන්ගේ 
මතකයට/සිහියට පැමිණෙන දේ මත විනිශ්චයන්ට එළඹීම (availability heuristic) ලෙසයි. නිරන්තර අත්දැකීම අප 
මතකයේ තදින් වෙලී පවතියි. වර්ෂයකදී ටෝනේඩෝ නිසා ඇමරිකානුවන් මරණයට පත් වන්නේ 50කට අඩුවෙන් 
වෙද්දී ඇදුම රෝගයෙන් වසරකට 4000ක් පමණ මරණයට පත් වෙයි. නමුත් රූපවාහිනියට ගැලපෙන්නේ ටෝනේඩෝ
 පිළබඳ ප්‍රවෘත්ති ය. ඉතින් ඔවුන් ඇදුමට වඩා ටෝනේඩෝ වලට බියෙන් ජීවත් වෙති.  
   

ප්‍රවෘත්ති ක්ෂේත්‍රයේ ‘ලේ ගලන්නේ නම් එය ප්‍රමුඛ පුවතයි (if it bleeds, it leads)‘ යන්නෙන් නිරන්තර අපව වෙලා ගනු
 ලබන්නේ එවැනි පුවත් නිසා ලෝකය පිළිබඳව අපට ඇත්තේ නිෂේධාත්මක චිත්‍රයකි. ජනමාධ්‍යවේදීන් පුරුදු හා ඥානන
 අගතීන් (cognitive bias) ලෝකය පිළිබඳ නිෂේධාත්මක චිත්‍රයක් ලබා දෙන්නේ නම් අපට කළ හැක්කේ කුමක්ද? 
සැබෑ ඉලක්කම් පිළිබඳ සොයා බැලීම නොවේද?  

සැබෑ ඉලක්කම්, උදාහරණයක් ලෙස අපරාධ සලකමු, ඇත්ත වශයෙන්ම රේඛීයව සන්තතිකව අඩු වූවා නොවේ. 
කෙටිකාලීන අඩුවීම් වැඩිවීම් මැද ක්ෂණික ඉහළ යෑම් පහළ යෑම් මතින් දිගුකාලීනව පහළ යෑමකි සිදු වී ඇත්තේ. මේ 
සත්‍ය දරගත නොහැකිව කෙනෙක් ශබ්දාර්ථවේදයේ (semantics) සරණ යමින් මෙසේ කීමට ඉඩ ඇත. “ඉන්ටර්නෙට්
 ට්‍රොල් කිරීම ප්‍රචණ්ඩත්වයක් නොවේද? අසමානතාවය ප්‍රචණ්ඩත්වයක් නොවේද? පරිභෝජනවාදය ප්‍රචණ්ඩත්වයක් 
නොවේද? ප්‍රචාරණය ප්‍රචණ්ඩත්වයක් නොවේද? ඒවාද ප්‍රචණ්ඩත්වය පිළිබඳ සංඛ්‍යාන දත්ත වලට ඇතුළත් විය යුතු 
නැද්ද? “. ඇත්ත වශයෙන්ම මනුෂ්‍යාගේ තත්ත්වය මැන ගැනීමට මින් පිටිවහලක් වන්නේ නැත. මුහුණුපොතේ කෙනෙක්
 සෝපාහාසයට බඳුන් කිරීම කණගාටුවට කරුණක් වුවද  ඒවා වහල් වෙළඳාම හෝ සමූළඝාතන හා සැසඳිය නොහැකිය.
 සදාචාර විනිශ්චයට සමානුපාතිකතාවයක් (proportionality) තිබිය යුතුය.

ඇත්ත වශයෙන්ම ප්‍රගතිය පිළිබඳ නිෂේධාත්මක ඇසකින් බැලීම තමන්ගේ මතකයට/සිහියට පැමිණෙන දේ මත 
විනිශ්චයන්ට එළඹීම (availability heuristic) හේතුව නිසා පමනක් සිදුවන දෙයක් නොවේ. මාධ්‍ය වල ඇති 
නිෂේධාත්මක ප්‍රවෘත්ති වලට ඇති ඇල්මට පමණක් ද මෙහි දී චෝදනා කිරීම ද වැරදිය. නිෂේධාත්මක දේ කෙරෙහි 
අපගේ ඇල්ම නැත්නම් ප්‍රගතිභීතිකාවෙහි මනෝවිද්‍යාත්මක මුල් සිතනවාට වඩා ගැඹුරට විහිදේ. නිෂේධාත්මක අගතිය 
(negativity bias) පෙන්වන එක් ප්‍රකාශයක් නමි ‘නරක හොඳට වඩා ශක්තිමත් ය’ යන ප්‍රකාශයයි. මිනිසුන්ගේ නැති 
දේ ලැබීම කෙරෙහි ඇති බලාපොරොත්තුවට වඩා ඇති දේ නැති වෙනවාට ඇති බිය ප්‍රබලය. සර්ව අශුභවාදියා 
යථාර්ථවාදියෙකු සේ පෙනෙන අතර සර්ව සුභවාදියා පෙනෙනුයේ තමන්ට යමක් විකුණන්න පැමිණියෙකු සේය.

මිනිසුන් තුළ නිෂේධාත්මක අගතිය නොපෙන්වන මොහොතක් නම් ස්වයංචරිපදානයි. එහි දී අතීතයේ විඳි දුක් කම් 
කටොළු පවා රෝස පැහැයෙන් විස්තර වනු දැකිය හැකිය.

දත්තවිද්‍යාඥ කලෙවි ලීටාරු (Kalev Leetaru) විසින් වර්ධනය කරන ලද sentiment mining තාක්ෂණය මඟින් 
1945 සිට 2005 දක්වා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේහි පළ කරන ලද සියළුම ලිපි වල භාවාත්මක ලීලාව 
(emotional tone) එහි ඇති ධනාත්මක හා සෘණාත්මක වචන ප්‍රමාණය අනුව අංකයක් ලබාදීම මඟින් විශ්ලේෂණයට 
ලක් කෙරිණි. එහි ප්‍රතිඵලය මෙහි දක්වා ඇත. 1960 සිට දිගටම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේහි භාවාත්මක ලීලාව 
වඩ වඩාත් නිෂේධාත්මක වී ඇති බව පෙනේ.

…………………………...

අනතුරුව පින්කර් කෘතියෙහි  දෙවෙනි කොටසින් ජීවිතය, සෞඛ්‍ය, පෝෂණය, ධනය, අසමානතාවය, පරිසරය, සාමය, 
ආරක්ෂාව, ත්‍රස්තවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාන අයිතීන්, දැනුම, ජීවන තත්ත්වය, සතුට, පැවැත්ම කෙරෙහි ඇති තර්ජන,
 ප්‍රගතියෙහි අනාගතය ආදියෙහි දත්ත ප්‍රස්තාර 75ක් පමණ ඇසුරෙන් ඉදිරිපත් කරයි.  


ජීවිතය

  1. අද ලෝකයේ සාමාන්‍ය උපතේදී ආයු අපේක්ෂාව කීයද? ඔව් ඉතාම දුප්පත් රටවල් සියල්ල ද සැලකිල්ලට 
    ගත්විටත් එහි අගය 71.4කි. හාන්ස් රෝස්ලින් මේ ප්‍රශ්නය ස්වීඩන් ජාතිකයන්ගෙන් විමසූ විට නිවැරදි පිලිතුර
     දුන්නේ 25% දෙනෙකි. 75% ක් ම සිතුවේ එහි අගය ඊට ඉතා අඩු අගයක් යැයි සිතාය. මිනිසුන්ට ලෝකය ගැන
     ඇත්තේ ඉතා නිශේධාත්මක චිත්‍රයක් බව හාන්ස් රෝස්ලින් පෙන්වා දෙයි. ප්‍රස්තාරයේ ආයු අපේක්ෂාව කාලයත් 
    සමඟ වැඩි වී ඇති ආකාරය පෙනෙයි. අප්‍රිකාවේ ආයු අපේක්ෂාව පහත වැටී නැවත නැගීමක් ඔබට දැකිය හැකිය.
     ඊට හේතුව වූයේ ඒඩ්ස් වසංගතයයි.

  1. අවුරුදු 5 වීමට ප්‍රථම ළමා මරණ අනුපාතිකයේ පහල යෑම, මාතෘ මරණ අනුපාතිකයේ පහල යෑම ආදිය සිදු 
    වන්නේ 19 වන සියවසේ අගභාගයේදීය. ඉතා දියුණු රටක් වන ස්වීඩනයේ ද එම සියවසේ මුල් භාගයේදී දරුවන්
     25%  ~ 30% අවුරුදු 5 වීමට ප්‍රථම මරණයට පත් විය. සමහර වර්ෂ වල එම අගය 50% පමණ විය. මෙය මිනිස්
     ඉතිහාසයේ පැවැති සාමාන්‍ය තත්ත්වය බව පෙනේ. එමෙන්ම සියවසකට පෙර ගර්භනී වීම අද දින පියයුරු 
    පිළිකාවක් ඇති වීම තරම් භයානක විය.

  1. ජීවිතය දිගු වුවත් යහපත් සෞඛ්‍ය තත්තවයක් නොමැති නම් ගැටළුවකි. 1990දී සාමාන්‍ය ආයු අපේක්ෂාව 64.5 
    වෙද්දී ‍සෞඛ්‍ය සම්පන්නව ගත කළ කාලය වූයේ 56.8 කි. 2010 වන විට සාමන්‍ය ආයු අපේක්ෂාව තවත් 
    අවුරුදු 4.7 එකතු වී ඇති අතර සෞඛ්‍ය සම්පන්නව ගත කරන කාලය ද අවුරුදු 3.8ක් එකතු වී ඇත.

  1. අනාගතය ගැන ද යමක් කිව යුතු ය. 2006 දී Ray Kurzweil ගේ අතිශය ජනප්‍රිය කෘතියක් වූ ‘The Singularity
     is Near’ හි පැවසෙන්නේ ප්‍රවේණි විද්‍යාවේ හා නැනෝ තාක්ෂණයේ දියුණුවත් සමඟ 2045 දී  පමණ වන විට
     සදාතනික ජීවත් විය හැකි මිනිසුන් බලාපොරොත්තු විය හැකි බවය. (උදාහරණයක් ලෙස අපගේ ශරීරය 
    ඇතුළතින් රුධිර නාළිකා ඔස්සේ ගොස් හානි වී ඇති දේ පිළිසකර කරන නැනෝබොට්ස්ලා මඟින්). භෞතික 
    විද්‍යාඥ පීටර් හොෆ්මාන් කරනුයේ ජීවිතය යනු භෞතික විද්‍යාව හා ජීවවිද්‍යාව අතර මාරාන්තික සටනක් බවයි.
     අපගේ ජෛව යාන්ත්‍රණය වූ සෛල සමඟ අනවරතව අණු ගැටීම සිදු වන අතර, එන්ට්‍රොපියට එරෙහිව හානි වීම
     වලක්වමින් ඒවා පිළිසකර කරන යාන්ත්‍රණය ද මේ අණුක ප්‍රහාරයට ලක් වෙමින් දුර්වල වෙයි. පිළිසකර කරන
    යාන්ත්‍රණයන්ගේ දුර්වල වීම සමුච්චනය/එකතු වත්ම පද්ධතිය බිඳවැටීමේ සම්භාවිතාව බරපතල ලෙස ඉහළ යයි.  

  1. මරණයට එරෙහිව මිනුසාගේ සටන ගැන පින්කර් මේ සේ කියයි. ස්ටෛන්ගේ නියමය (Stein’s law) වන 
    “අනන්ත ලෙස පැවතිය නොහැකි දෑ නතර වනු ඇත” යන්න මෙසේ වෙනස් විය යුතු ය, එනම් ‘අනන්ත ලෙස
     පැවතිය නොහැකි දෑ ඔබ සිතනවාට වඩා කාලයක් පවතිනු ඇත ’ යනුවෙනි.



(3 කොටස)

සෞඛ්‍යය

ඉතිහාසයේ වැඩි හරියක බලවත්ම මාරයා වූයේ බෝවන රෝගාබාධයන් ය. වසංගත රෝග මගින් මිලියන ගණනින් 
මිනිසුන් මිය ගිය අතර, සමහර විට මුලු ශිෂ්ටාචාර පිටින් මිහිපිටින් අතු ගෑවී ගියේය. වසූරිය මඟින් 20 වන සියවසේ
 මියගිය ප්‍රමාණය මිලියන 300 ඉක්මවයි. හෝමෝ සේපියන්ගේ රෝගාබාධ වලට එරෙහි සටන සමන් විත වූයේ යාඥාව, 
බිලිදීම්, ලේ ගලා යෑමට සැලැස්වීම, චූෂණ කෝප්ප, විෂ ලෝහ, හෝමියෝපති, රෝගියාගේ සිරුරට තද කර කිකිළියක 
ගෙල මිරිකා මැරීම, (යන්තර, මන්තර හා රතන සූත්‍රය) වැනි දේය.


නමුත් 18  වැනි සියවසේ එන්නත් කිරීම නවෝත්පාදනයෙන් අනතුරුව හා 19 වන සියවසේ ක්ෂුද්‍රජීව න්‍යාය 
(Germ theory) පිළිගැනීමට ලක්වීමත් සමඟ සටන තීරණාමක ලෙස හැරවුණි. අත්සේදීම, වින්නඹුකර්මය, 
මදුරු පාලනය, පානීය ජලය පිරිසිදු කිරීම, ඒ සඳහා පොදු මළාපවහන පද්ධති ඉදිකිරීම, ක්ලෝරීන්කරණය කළ 
නළ ජලය මගින් ජීවිත බිලියන ගණනක් බේරාගැනිනි. 20වන සියවසට පෙර නගර ඉතාම අපිරිසිදු විය. වෛද්‍යවරු 
රෝගවාහකයන් විය. මරණපරීක්ෂණයෙන් අනතුරුව ඒ ශල්‍ය උපකරණ වලින්ම තුවාල මැසීම සිදුවිය. ජීවාණුහරණය 
ආරම්භ වූයේ 19 වන සියවසේ දී ය.

ඔබට උගන්වා ඇත් හෝ අසා ඇති වීරයන් අතර කාල් ලෑන්ඩ්ස්ටයිනර් (Karl Landsteiner) යන නම ඔබ අසා තිබේද?
 ඔහු බේරා ගත් ජීවිත ගණන බිලියනයකට අධික ය. රුධිර ඛාණ්ඩ සොයාගත්තේ ඔහු විසිනි. ඇබෙල් වොල්මන් හා 
ලින් එන්ස්ලෝ ජලය ක්ලෝරීන්කරණය සොයාගැනීම නිසා බේරා ගත් ජීවිත ගණන මිලියන 177කට අධික ය. 
පෙනිසිලින්, මූලික එන්නත් 8, වසූරිය මූලෝත්පාටන උපාය, සරම්ප එන්නත, එන්ජියෝප්ලාස්ටි, පිටගැස්ම එන්නත 
ආදිය මඟින් බේරා ගත් ජීවිත ප්‍රමාණය මිලියන සිය ගණනකි..

මෙහි ලා බලවත්ම දායකයා වූයේ විද්‍යාවයි. යතුර වූයේ දැනුමයි. එහි අධිතාක්ෂණික අඩංගුව වූ එන්නත්, ප්‍රතිජීවක, 
ප්‍රතිවෛරස්, පණුබෙහෙත් ආදිය මෙන්ම මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත බේරූ පිරිවැයෙන් ඉතා අවම වූ අදහස් ද විය.
 ඒම අදහස් අතර වතුර උණුකිරීම, වතුරට ක්ලෝරීන් යෙදීම, පෙරාගැනීම, අත් සේදීම, ගර්භනී කාන්තාවන්ට අයඩින් දීම,
 මවිකිරි දීම, වැසිකිළි භාවිතා කිරීම, මදුරුදැල් ආදිය වේ. එමෙන්ම ප්‍රගතිය නරක අදහස් මඟින් පසුපසට ද හැරවිය හැක.
 උදාහරණ ලෙස තලේබාන් හා බොකොහරාම් සංවිධාන එන්නත් මුස්ලිම් ගැහැණු දරුවන් වඳබවට පත් කරන 
කුමණ්ත්‍රණයක් යැයි ප්‍රචාරය කිරීමත්, ඇමරිකානු බලපෑමි සහගත ක්‍රියාකාරිකයෙකු එන්නත් හේතුවෙන් දරුවන්ට 
ඔටිසම් ඇතිවේ යයි ප්‍රචාරය කිරීමත් ගත හැකිය.  

පෝෂණය (Sustenance)

වයසට යාම, දරු උපත, රෝගකාරක වලට අමතරව පරිණාමය හා එන්ට්‍රොපිය විසින් තවත් කෙනෙහිලිකමක් මිනිසා 
කෙරෙහි ඇති කෙරිණ, එනම් අපගේ අවසානයක් නොමැති ශක්ති අවශ්‍යතාවයි. සාගතයන් අපගේ මානව තත්ත්වය
 සමඟ ඉතා දිගුකලක සිට බැඳී පවති. වැසි නොමැති වීම නිසා අස්වැන්න පාලුවීමෙන් ඇති වූ දුක්ඛිත තත්ත්වයන් 
ගැන අපමණ ලෙස ලියැවී තිබේ. පූර්ව නූතන යුරෝපයේ සෑම දශක කීපයකටම වරක් සාගත ඇති විය. 18 වන 
සියවසේ ආරම්භයේ දී ප්‍රංශයේ ආහාර වේලක ශක්ති ප්‍රමාණය 1965 දී වසරේ වඩාත්ම මන්දපෝෂණයට ලක් වූ රට
 වූ රුවන්ඩාවට සමාන වී යැයි කියැවේ. ඉන්දියාව, චීනය වැනි රටවල අස්ථිර මෝසම් වැසි හේතුවෙන් නියඟය නිසා 
නිරන්තරව සාගත ඇති විය. 1630-31 ඉන්දියානු සාගතයේ දී ලන්දේසි වෙළෙන්දෙකු විස්තර කළේ මෙලෙසයි.
“මිනිසුන් නගර ගම් අතහැර අසරණ ලෙස ඉබාගාතේ ඇවිදින්න විය. ඇස් ගිලී ගිය, තොල් වියලී ගිය, හම ඝණ වූ, 
ඇට සැකිල්ල මතු වූ, එල්ලා වැටෙන හිස් මල්ලක් බඳු උදරයන් සහිත,....කෙනෙකු ආහාර උදෙසා කෑ ගසද්දී තවෙකෙකු
 බිම වැටී මියෙදෙමින් සිටී,....බිරියන් හා දරුවන් අතහැර දැමිණි,....දෙමාපියන් දරුවන් විකුණා දැමිණි,...සාමුහික 
සියදිවිනසාගැනීම්..අනතුරුව මිනිසුන් සිය දහස් ගණනින් කුසගින්නෙන් මියදෙන්න වූ අතර මුළු රටම නොවලලන 
ලද මළ සිරුරු වලින් ඉතිරී යන්නට විය...දුර්ගන්දයෙන් පිරී යන්නට විය..සුසැන්ත්‍රා ගමේ මිනිස් මස් විවෘත වෙළඳපොළේ
 විකුණන්ට තිබිණ….”

අද වන විට චීනයේ බිලියන 1.3ක ජනගහණයට දිනකට ලැබෙන කැලරි සාමාන්‍ය අගය 3,100 කි. එය ක්‍රියාකාරී 
මිනිසෙකුට දිනකට අවශ්‍ය සාමාන්‍ය ශක්ති ප්‍රමාණයයි. ඉන්දියාවේ දිනකට ලැබෙන සාමාන්‍ය කැලරි 2,400 කි. 
අප්‍රිකාවේ සාමාන්‍ය කැලරි 2,600 කි. සංවර්ධනය වන හා සංවර්ධිත රටවල් සියල්ල ප්‍රස්තාරයේ සුපුරුදු රටාව අනුගමනය
 කරනු පෙනේ. ළමා මන්දපෝෂණය ද ක්‍රමයෙන් අඩු වෙනු දැකිය හැකිය.

අස්වැන් හානිවීම හා සාගතය අතර සමිබන්ධය පසුගිය සියවස තුළදී සම්පූර්නයෙන්ම පාහේ බිඳ දැමිණි. අප්‍රිකාවේ 
හා ආසියාවේ නිරන්තර සාගතයන් දැන් ඉතිහාසයට පමණක් සීමා කෙරී ඇත.

මෑතක දී නැගනහිර අප්‍රිකාවේ (2011), සාහෙල් (2012), දකුණු සුඩානයේ (2016)  ඇති වූ සාගත වලදී ඇති වූ ජීවිත 
හානි පෙර ඇති වූ සාගත හා බැලීමේ දී ඉතා සුළු ප්‍රමාණයකි.

තෝමස් මැල්තුස් 1798 දී කීවේ එකල ඇති වූ නිරන්තර සාගත වැලැක්විය නොහැකි බවත් එය ඉදිරියේ දී තවත් වැඩි 
වනු ඇත් බවත්ය.  1968 දී ජීවවිද්‍යාඥ පෝල් ආර් අර්ලිච් The Population Bomb කෘතියෙන් කීවේ 1980 වන විට
 ඇමෙරිකානුවන් මිලියන 65කුත් ලෝකවාසීන් බිලියන 4කුත් කුසගින්නේ මියයනු ඇති බවයි. ගිලෙන්නට යන
 බෝට්ටුවකින් සියළුදෙනාගේ යහපත තකා කෙනෙකු එළියට විසිකිරීම සදාචාරාත්මකද යන්න පිළිබඳව දාර්ශනික
සාකච්ඡා ඇති වූ අතර අර්ලිච් හා පරිසරවේදීන් පැවසුවේ අසමත් වීමට නියමිත රටවලට ආහාර සහනාධාර සැපයීම 
නැවැත් විය යුතු බවයි.

තෝමස් මැල්තුස්ට වැරදුනේ කොතනද? මිනිසුන් පොහොසත් වත්ම ඔවුගේ දරුවන් ජීවත්විමේ සම්භාවිතාව වැඩි වන 
අතර එවිට ඔවුන් දරුවන් බිහිකරන්නේ අඩුවෙනි. වෙනත් ආකාරයකට කිවහොත් මිනිසුන් වඩා පොහොසත් වත්ම 
බිහිකරන දරුවන් ප්‍රමාණය අඩුවේ.

එමෙන්ම ආහාර නිෂ්පාදනය ද අතිශය ඉහළ නැංවිණි. මිනිසා අවුරුදු 10,000කට පෙර කෘෂිකර්මය ආරම්භ කළ 
කාළයේ පටන් වරණීය අභිජනනය, එනම් කැලරි වඩාත්ම ලැබෙන, වීෂ අඩු, වගා කිරීමට හා නෙලා ගැනීමට පහසු 
ආදී ලෙස බෝග තෝරා අභිජනනය මඟින් වඩාත් හොඳ මට්ටමේ බෝග නිර්මාණය කරගත්තෝ ය. බෝග මාරුව, 
නගුල් වැඩි දියුණු කිරීම, බීජ සිටුවන යන්ත්‍ර හා කෘෂිකර්මය යාන්ත්‍රිකකරණය වීම සමඟින් බ්‍රිතාන්‍ය කෘෂිකාර්මික 
විප්ලවය සිදුවිය. 1909 දී පෙරදී ෆ්‍රිට්ස් හාබර් (Fritz Haber) විසින් සොයාගත් අදහසක් වැඩි දියුණු කරමින් කාල් 
බොෂ් (Carl Bosch) විසින් මීතේන් හා ජලවාෂ්ප මඟින් වාතයේ නයිට්‍රජන් ඇදගැනීම මඟින් කාර්මික පරිමාණයෙන්
 පොහොර නිපදවීමද තීරණාත්මක විය. සත්‍ය වශයෙන්ම ඔවුන් දෙදෙනාගේ සොයාගැනීම මත 20 වන සියවසේ ජීවිත 
බිලියන 2.7ක ඉරණම තීරණය කෙරිණි. පසුගිය ශතවර්ෂයේදී හෙක්ටයාර් එකකින් ලැබෙව අස්වැන්න විශාල ලෙස 
ඉහළ ගොස් නියම මිළ පහළ ගොස් තිබේ. උදාහරණයකට මෙම වර්ධනයන් සිදු නොවූයේ නම් ලෝකයට ආහාර දීමට
 රුසියාව තරම් බිමක් වගා කිරීමට සිදුවේ. 1901 දී ඇ.එ. ජනපදයේ පැයක වැටුපෙන් ගත හැකි වූයේ කිරි තුන් කාලකි,
 දැන් පැයක වැටුපෙන් කාල් 16ක් ගත හැකිය.

1950-60 කාලයේ දී නෝමන් බෝලොග් (Norma Borlaug) විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත විප්ලවයේ
 පුරෝගාමියා විය. සාමාන්‍යයෙන් ශාක උත්සාහ කරන්නේ තරඟකාරී ලෙස හිරු එථිය ලබාගැනීමට උස යාමයි. ඔහු 
කළේ වඩා කුරු, වඩා අස්වැන්නක් ලබා දෙන, රෝගාබාධ වලට ඔරොත්තු දෙන තිරිඟු ප්‍රභේදයන් වෙනත් ප්‍රභේද දහස් 
වාරයක් අභිජනනය කිරීම මඟින් අවුරුදු කිහිපයකදී නිර්මාණය කිරීමයි. මේ විශේෂ ප්‍රභේද වාරිමාර්ග තාක්ෂණයන්, 
පොහොර, අස්වනු කළමණාකරනය සමඟින් එකතු කිරීමෙන් බෝලොග් සාගත ඇතිවීමට නැඹුරු මෙක්සිකොව, 
ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල් කෙටි කලකින් ධාන්‍ය අපනයනය කරන රටවල් බවට පත් කෙරිණි. හරිත විප්ලවයට
 පින් සිදුවන්නට දැන් අවශ්‍ය කරන්නේ ලෝකයට ආහාර සැපයීමට පෙර භාවිතා කළා මෙන් 1/3ක භූමි ප්‍රමාණයක් පමණි.

ජාන තාක්ෂණය යනු බෝලොග් වසර ගණනාවක් මහන්සි වී කළ කාර්යය දිනගණනකින් කළ හැකි කළ හැකි ආකාරයේ
 තාක්ෂණයකි. වැඩි අස්වැන්නක් සහිත, ජීවිතයට අවශ්‍ය විටමින් සහිත, නියඟ හා ලුනු වලට ඔරොත්තු දෙන, රෝග, 
පළිබෝධ, අපතේයෑමට ඔරොත්තු දෙන හා පොහොර අවශ්‍යතාව අඩු පාරජානමය (transgenic) බෝග එමඟින් නිපදවා
 ගත හැක. ජාන වෙනස්කළ බෝග වල සුරක්ෂිත බව ගැන සෞඛ්‍ය හා විද්‍යා සංවිධාන, සිය ගණන් නොබෙල් 
ත්‍යාගලාභීන් සහතික වී තිබේ. ඇත්ත වශයෙන්ම කිවහොත් ජාන වෙනස් නොකළ බෝග යනුවෙන් යමක් නැත. නමුත් 
සාම්ප්‍රදායික පරිසර සංවිධාන උමතුවෙන් මෙන් පාරජානමය ආහාර මහජනයා අතට පත්වීම වලකාලීමට සමත් වී තිබේ.
 ඔවුන්ගේ විරෝධය කිසිදු පැහැදිලි අර්ථයක් නැති වටිනාකම් වන ’ස්වභාවිකත්වය’ ආරක්ෂා කිරීම, ‘ජාන දූෂණය’, 
‘සොබාදහම සමඟ සෙල්ලම් කිරීම’, ‘පාරිසරික කෘෂිකර්මය’ මත පදනම් වී ‘නියම ආහාර’ ප්‍රවර්ධනය කිරීම ආදිය ඔවුනගේ
 සටන් පාඨයි. (මඩතවාලු, රතු හීනටි ආදී පාරම්පරික වී නැවත ගෙන ආ යුතු යැයි කියන අයන කෙතරම් පිස්සුදැයි ඔබට 
දැන් වැටහිය යුතුය. ඒවා පැවතිය හැක්කේ foodcity රාක්කවල පමණි).  

අවසාන වශයෙන් අහාර සුරක්ෂිතතාව යනු වගා කිරීම සම්බන්ධ කරුණක් පමණක් නොවේ. සාගතයන් ඇති වන්නේ 
ආහාර හිඟ වූ විට පමණක් නොවේ. ඒවායෙහි මළ මිනිසුන්ට දරාගැනීමට නොහැකි වූ විටත්, හමුදාවන් ආහාර ලබා 
ගැනීමට බාධා කරන විටත් හා රජයන් තමන්ට කෙතරම් ආහාර ඇත්දැයි යන වග ගැන නොසැලකිලිමත් වන 
අවස්ථාවන්හි දීත් වශයෙනි. 20 වන සියවසේ දී ප්‍රධාන සාගත වලින් මියගිය මිලියන 70න් 80% මියගියේ කොමියුනිස්ට්
රෙජිමයන් සහිත රටවල බලහත්කාරී සාමූහීකරණය, දඬුවම් ලෙස රාජසන්තක කිරීම  හා ඒකාධිපති මධ්‍යගත පාලනය
 හේතුවෙනි. මේ අතර රුසියන් විප්ලවයයෙන් අනතුරුව, රුසියානු සිවිල් යුද්ධය හා දෙවන ලෝක යුද්ධය ආදිය නිසා 
සෝවියට් සංගමයේ ඇති වූ වූ සාගතයන්, යුක්‍රේනයේ ඇති වූ ස්ටාලින්ගේ ත්‍රස්ත සාගතය 1932-33 (terror famine),
මාවෝගේ මහා ඉදිරි පිනුම 1958-61 (great leap forward), පොල්පොට්ගේ බිංදුව වෙනි අවුරුද්ද 1975-79 
(year zero), කිමි ජොන්ග් ඉල්ගේ දුෂ්කර ප්‍රයාණය 1990 ගණන් (arduous march) වෙයි. බොහෝ අප්‍රිකානු හා 
ආසියානු රටවල යටත්විජිත යුගයෙන් පසු පත් වූ ප්‍රථම ආණ්ඩු දෘෂ්ටිවාදීමය වශයෙන් විලාසිතාකාරී නමුත් ආර්ථිකමය 
වශයෙන් විනාශයට හේතු වූ ගොවිතැන සඳහා මහජන සාමූහීකරණය (mass collectivization for farming), 
ස්වයංපෝෂිතභාවය උදෙසා ආනයන සීමා කිරීම සහ කෘතීම ලෙස ආහාර මිළ පහත තබාගැනීම මගින් ගොවියන්ගේ
 මහන්සියෙන් දේශපාලනික වශයෙන් බලපෑම් සහගත නාගරිකයන් සතුටු කිරීම යනාදියට කටයුතු කිරීම ද සාගතයන්ට
 හේතු විය. 

 

 
         


ධනය (Wealth)

ආර්ථික විද්‍යාඥ පීටර් බවර් (Peter Bauer) පැවසුවේ දුප්පත්කමට හේතු නැති නමුත් ධනයට හේතු ඇති බවයි.
 එන්ට්‍රොපිය හා පරිණාමය පාලනය කරන ලෝකයක පාරවල් පේස්ට්‍රි වලින් හදා නැති අතර බැදපු මාළු අපේ කකුල් ලඟට
 පිහිනා එන්නේ ද නැත. ආර්ථික විද්‍යාඥ නේතන් රොසෙන්බර්ග් (Nathan Rosenberg) හා නීති ශාස්ත්‍රඥයෙකු වූ 
බර්ඩ්සෙල් (LE Birdzell Jr.)  පැවසුවේ ‘අපව හැමවිටම පොළඹවනු ලබන්නේ වෙනත් කාල වල ප්‍රධාන දුක්ඛිතභාවය
 යම් ප්‍රමාණයකට එකල්හි හොඳන් දිවි ගෙවූවන් සමරන සාහිත්‍යයේ, කවියේ, රොමෑන්තිකවාදියේ හා පුරාවෘත්තයන්හි 
අලංකාරත්වය තුළ නොපෙනී යාමටත් නිහඬව දුප්පත්කමේ ගැලී සිටියවුන් අමතක කිරීමටත් ය. දුක්ඛිතභාවයේ යුගයන් 
මිථ්‍යකරණයට ලක්කරන අතර සමහර විට ඒවා මතකයට නංවනු ලබන්නේ ස්වර්ණමය යුගයන් හැටියටයි. නමුත් එය 
එසේ නොවීය.’

ඉතිහාසකරු කාලෝ සිපොල්ලා (Carlo Cipolla) කියන පරිදි පූර්ව-කාර්මික යුරෝපයේ ඇඳුමක් මිළදී ගැනීම සාමාන්‍ය 
මිනිසෙකුට සුඛෝපගෝගී දෙයක් විය. ඔවුනට ජීවිත කාළයටම ඉන් කිහිපයකයකට වඩා මිළදී ගැනීමට හැකියාව 
තිබුණේ නැත. රෝහල් කළමණාකිරීත්වයට පැවරී තිබූ එක් වැදගත් කාරණයක් වූයේ මියගිය වුන්ගේ ඇඳුම් ඔවුන්ගේ 
නීත්‍යානුකූල හිමිකරුවන්ට පවරා දීමයි.

ධනය පිළිබඳ සංකල්පීයකරණයේ මුල්කාලීන මතයක් වූයේ  ධනය ප්‍රමාණාත්මකව නියත බවත් මිනිසුන් එම නියත
 ප්‍රමාණය බෙදාගැනීමට සටන් කරන බවත් ය. ප්‍රබුද්ධත්ව යුගයේ වටහා ගත්තේ ධනය නිර්මාණය කරන්නක් බවයි. 
මූලික වශයෙන් දැනුම හා අන්‍යෙන්‍ය සහයෝගීතාවය මත එය නිර්මාණය කෙරෙන බවයි. එය මිනිස් ජාලයන් විසින් 
ද්‍රව්‍ය පෙර නොවූ නමුත් ප්‍රයෝජනවත් ආකෘති බවට පත් කිරීම හා මිනිසුන්ගේ කුසලතාවන් හා ශ්‍රමයේ ඵල එකට 
සම්බන්ධ කිරීමකි. වසර 2000ක් තිස්සේ ධනය නිර්මාණය වූ ආකාරය දළ ලෝක නිෂ්පාදනය (Gross World Product)
 ප්‍රස්ථාරයෙන් බලාගත හැකිය. අවුරුදු දහසක් තිස්සේ  සැලකිය යුතු වෙනසක් නොවූ ධනය වර්ධනයේ වේගවත් 
වර්ධනයක් ඇති වූයේ 19 වන සියවසේ ආරම්භයේදී ය. 1820 සිට 1900 වන විට ලෝක ආදායම තුන් ගුණයක් විය. 
එය අවුරුදු 50කට යන්තම් වැඩි වෙද්දී නැවත තුන්ගුණයක් විය. එය නැවත් තුන් ගුණයක් වීමට ගත වුණේ අවුරුදු 
25ක් පමණි. දළ ලෝක නිෂ්පාදනය 1820 පැවතියා මෙන් 100 ගුණයක් පමණ වැඩි වී තිබේ. එපමණක් නොවේ, 
භාණ්ඩ වල ගුණාත්මක බව ද වැඩි වී තිබේ. 1800 දී රෙදි යනු ඝණ, රළු, බර, වතුර කාන්දු වන තෙල් රෙද්දකි (oilcloth).
 2000 වසරේදී එය සිප් එක සහිත, සැහැල්ලු, breathable synthetic වැහි කබායකි.

ශීතකරණයක අද වටිනාකම රුපියල් 60,000ක් නම් ශීතකරණයක් භාවිතා නොකර සිටීමට ඔබ අය කරන මුදල කීයද?
 සැබැවින්ම රුපියල් 60,000 කට වැඩි නොවේද? ඇඩම් ස්මිත් ඊට කීවේ වටිනාකමේ විරුද්ධාභාසය (paradox of value)
 කියාය. එනම් අත්‍යවශ්‍ය භාණ්ඩ සුලබ වන විට ඒ සඳහා මිනිසුන් ගෙවීමට කැමති වන මුදලට වඩා මිළ අඩු වෙයි. 
වෙනස පරිභෝජන අතිරික්තය (consumer surplus) ලෙස හැඳින්වේ.

පැවති දුක්ඛිත භාවයෙන් මේ මහා ගැලවීමට (The Great Escape) හේතුව අන් කිසිවක් නොව විද්‍යාව යොදාගැනීමෙන්
 ද්‍රව්‍යමය ජීවිතය වැඩි දියුණු කරගැනීම නොවේ ද? ආර්ථික ඉතිහාසඥ ජෝල් මොකිර් (Joel Mokyr) මෙයට කීවේ 
‘ප්‍රබුද්ධ ආර්ථිකය (enlightened economy)’ කියාය. කාර්මික විප්ලවයේ යන්ත්‍ර හා කර්මාන්තශාලා ද, කෘෂිකාර්මික
 විප්ලවයේ ඵලදායී ගොවි පොළවල් ද, මහජන සෞඛ්‍ය විප්ලවයේ වතුර පයිප්ප මඟින් සියවසකට පෙර බලාපොරොත්තු
 වූවා ටත් වඩා වැඩි වැඩියෙන් රෙදි, මෙවලම්, වාහන, පොත්, ගෘහභාණ්ඩ, කැලරි, පිරිසිදු ජලය ආදිය ලබා දුනි. 
1750ට පසුව තාක්ෂණයේ දැනුම් පදනම ක්‍රමයෙන් පුළුල් වන්නට විය. නව නිෂ්පාදන හා තාක්ෂණයන් පැමිණියා 
පමණක් නොව පැරණි ඒවා ක්‍රියා කළේ කෙසේද යන්න පිළිබඳවක් වඩා හොඳන් වටහා ගැණිනි.

අනෙක් කාරණය නම් භාණ්ඩ, සේවා හා අදහස් හුවමාරුව වඩාත් පහසු කරන ආයතන වල පැන නැගීමයි. 18 වන සියවස
 වන විට ගජමිතුරන්ට සැලකීම වෙනුවට වඩා විවෘත ඕනෑම කෙනෙක් තවෙකුට ඕනෑම දෙයක් විකිණිය හැකි
වාතාවරණයක් ඇති විය. ඔවුන්ගේ ගනුදෙනු නීතියේ පාලනයෙන් සුරක්ෂිත විය, දේපොළ අයිතිය, බලාත්මක කළහැකි 
කොන්ත්‍රාත් ගිවිසුම් හා විශ්වාසය මත ක්‍රියාකරන බැංකු, සංස්ථා, රාජ්‍ය නියෝජිත ආයතන වැනි ආයතන ද විය. අද අපට
 කිසිම හඳුනන කමක් නැති නැවත් කිසිදා හමුවේ යැයි විශ්වාසයක් නැති ඕනෑම වෙළඳසැලකට ගොස් යම් ආකාරයකට
 තත්ත්වය සහතික කළ භාණ්ඩයක් ගෙන ණය කාඩ් එකකින් මුදල් ගෙවා ලබාගතහැකි වී ඇත්තේ මේ ආයතන පද්ධතිය
 නිසාය.        

ඊ ළඟ කාරණය නම් වටිනාකම් වෙනස් වීමයි. පෙර දී වෙළඳාම හැමවිටම පාහේ පහත් කොට සලකන ලදී. 18 වන 
සියවසේ දී එන්ගලන්තයේ හා නෙදර්ලන්තයේ වෙළඳාම සදාචාරාත්මක දෙයක් ලෙස දකින්නට විය. වෙළඳ පොළ 
ජාතීන් අතර වෙනස්කම් මකන කතෝලිකයාත්, මහමදිකයාත්, යුදේවිවාත් තෘප්තියෙන් හා බේදයකින් තොරව කටයුතු
 කරන තැනක් ලෙස ප්‍රශංසාවට ලක්වන්නට විය.

1905 දී මැක්ස් වෙබර් පැවසුවේ ධනවාදය පොතෙස්තන්ත ආචාරධර්ම මත රඳා පවතින බවයි. නමුත් නොබෝ කලකින්ම
 කතෝලික රටවල් ද පසුව අනෙකු ආගම් අදහන රටවල් ද නව ක්‍රමයට එකතු විය. 1995 ට පසු එකතු වූ බංගලාදේශය,
ඉතියෝපියාව, ජෝර්ජියාව, මොන්ගෝලියාව, රුවන්ඩාව වැනි සංවර්ධනය වන රටවල් 109කින් 30ක ආර්ථික වර්ධන 
වේගය කෙතරම් ඉහළ ද යත් අවුරුදු 18කින් ආර්ථිකය තුන් ගුණයකින් වර්ධනය විය. තවත් රටවල් 40ක වර්ධනය 
අවුරුදු 35කින් ආර්ථිකය දෙගුණ විය. 2008 වනවිට ලෝකයේ බිලියන 6.7 ක ජනගහණයේ සාමාන්‍ය 
ආදායම බටහිර යුරෝපයේ 1964 දී අගයට සමාන විය. අන්ත දුප්පත්කම තුරන් ‍වෙද්දී ලෝකය මධ්‍යම පන්තික වන්නට
 විය.

1800 වසරේදී, කාර්මිකකරණය ආරම්භ වීමට මොහොතකට පෙර ලෝකයේ බහුතරයක් දුප්පතුන් විය. 95% ක් පමණ 
අන්ත දරිද්‍රතාවයෙන් (below extreme poverty line) පෙළුනි. එමෙන්ම 1975 වන විට ඔටුවෙකු හැඩැති ප්‍රස්තාරයේ 
පෙනෙන පරිදි (පැහැදිලිව දුප්පත් හා පොහොසත් ලෙස දෙකට බෙදුණු ලෝකය) යුරෝපය දුප්පත්කමින් මිදුණි. 
ලෝකයේ අන්ත දරිද්‍රතාවය 50% කට අඩු විය. 21 වන සියවසට එනවිට ප්‍රස්තාරය තනි මොල්ලිය ඇති ඔටුවෙකුට 
සමාන වී ඇති අතර එය දකුණට බරව වඩාත් පොහොසත් හා වඩා සාධාරණ එකක් බවට පත් වී ඇත. (2019 වන විට 
අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ ලෝක ජනගහනයෙන් 10% ක් පමණ පිරිසකි.) එනම් අවුරුදු 200ක් ඇතුළත අන්ත
 දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස 90% සිට 10% ට අඩු වී ඇත. ඉන් 50% ක්ම අඩු වූයේ පසුගිය වසර 35 තුළ දී ය.

ලෝකයේ ප්‍රගතිය ඇගයීම ක්‍රම දෙකකට කළ හැකිය, (1) මා පෙන්වා දුන් අනුපාත හා ඒකපුද්ගල අගයන් (per capita
rates) මින් වඩාත්ම සදාචාරාත්මක ආකාරය යි. එය ජෝන් රවුල්ගේ (John Rawl) සාධාරණ සමාජය පිළිබඳ චිත්ත
 පරීක්ෂණයට ද එකඟ ය. එනම් ඔබ නැවත උපදිනවා නම් ද කවර ස්ථානයක උපදින්නේ දැයි නොදන්නේ නම් ද ඔබ 
තෝරාගන්නේ කවරාකාර සමාජයක්ද යන්නයි. නිසැකවම එබ තෝරාගන්නේ වැඩි ප්‍රතිශතයක් දිගුකල් ජීවත් වන, 
සෞඛ්‍ය සම්පන්න, හොඳින් කන්න අඳින්න ඇති සමාජයකයි, එවැන්නක ඔබට යහපත් ජීවිතයක් ලැබීමේ වැඩි 
සම්භාවිතාවක් තිබේ. (2) අනෙක් අතට සැබෑ සංඛ්‍යාව ද වැදගත් වෙයි. එම අගයට එකතු වන සෑම දිගුකල් ජීවත් වන, 
සෞඛ්‍ය සම්පන්න, හොඳින් කන්න අඳින්න ලැබෙන පුද්ගලයෙක්ම හැඟීම් වේදනා දැනෙන සචේතනික මනුෂ්‍යයෙකි.
 පසුගිය අවුරුදු 25 දී සෑම දිනකම මිනිසුන් 137,000 ක් අන්ත දරිද්‍රතාවයෙන් මිදී තිබේ. එහෙත් එය මාධ්‍ය හෝ ප්‍රවෘත්ති
 වල ශීර්ෂපාඨයක් නොවීය. එක්සත් ජාතීන්ගේ සහශ්‍රක සංවර්ධන අරමුණු අතර වසර 25ක් ඇතුළත ලෝක දුප්පත්කම 
50% කින් අඩුකිරීම වූ අතර සමහරු එය කළ නොහැකි යයි සමච්චලයට ලක් කරද්දී අවුරුදු 5කට පෙර අරමුණට ලඟා 
වීමට ලෝකයට හැකි විය. ඉන් අන්ත දරිද්‍රතාවයෙන් තවදුරටත් පෙළෙන මිලියන 750ක් පමණ ජනයා අමතක කර 
දැමිය යුතු යැයි අදහස් නොකෙරේ.

ඔවුන් ද ඉන් මුදවා ගැනීමට ලෝකය මේ සා ප්‍රගතියක් මෑතක ඇතිවූ මහා ප්‍රගතියේ (The Great Convergence) අත්පත්
 කරගත්තේ කෙසේ දැයි සෙවිය යුතුය. රඩෙලට් (Radelet) එයට හේතු පහක් පෙන්වයි. ඔහු මේ සේ කියයි. “1976 දී
 මාවෝ තනිවම හා දැවැන්ත ලෙස ලෝක දරිද්‍රතාවයේ දිශාව වෙනස් කරනු ලැබීය, කෙසේද යත් ඔහු එම වසරේදී මිය 
ගිය බැවිණි” (මට ගහන්න එපා මම නෙවෙයි ඕං කිව්වෙ). ඔහුගේ මරණයත් සමඟ කොමියුනිස්ට්වාදය දුර්වල වීම සිදු විය
 (මෙය පළමු වැන්නයි). වෙළඳපොළ ආර්ථිකයන්ට විශාල වශයෙන් ධනය නිපදවීමට හැකි වීමත් ඒකාධිකාරී සැලසුම් 
කරණය කළ ආර්ථිකයන් මඟින් භාණ්ඩ හිඟයන්, ආර්ථිකය එකතැන පල්වීම හා බොහෝ විට සාගතයන් ඇති වීම අපි 
දුටිමු. වෙළඳපොළ ආර්ථිකයන් විශේෂිකරණයේ ඵල ලබමින් මධ්‍යගත සැලසුම්කරණයේ ගැටළු මිළ භාවිතයෙන් 
විසඳාලීය. සාමූහීකරණය, මධ්‍යගත පාලනය, රාජ්‍ය ඒකාධිකාරයන්, බලපත්‍ර නිලධාරීවාදයන් ආදියෙන් මිදුණි. ඩෙන්ෂියාඕ
 පිං සමයේ චීනය ධනවාදය වැළඳගැනීමත්, සෝවියට් සංගමයත් බටහිර යුරෝපයට එහි බලපෑම බිඳවැටීමත්, ඉන්දියාව,
 බ්‍රසීලය වියට්නාමය හා වෙනත් රටවල ආර්ථික ලිහිල්කරණය (liberalization) එහි වැදගත් කොටසකි. උතුරු 
කොරියාවේත් දකුණු කොරියාවේත් රාත්‍රී චන්ද්‍රිකා ඡායාරූපය වෙළඳපොළෙහි විභවය කදිමට පෙන්වන්නකි.

රඩෙලට් (Radelet) දක්වන මෑතක ඇතිවූ මහා ප්‍රගතියේ (The Great Convergence) දෙවන හේතුව නම් 
නායකත්වයයි. මාවෝ යනු චපල මනසකින් යුතු අහංකාරෝන්මාදයෙන් පෙළුණු විකාර වැඩසටහන් ක්‍රියාත්මක කළ 
චරිතයකි. එනම් ‘මහා ඉදිරි පිම්ම (The Great Leap Forward)’ ( දැවැන්ත කොමියුන, වැඩකට නැති ලෝහ 
උණුකරණ ස්ථාන, උන්මන්තක කෘෂිකාර්මික ව්‍යවහාරයන් ආදියෙනි සමන්විත විය) හා ‘සංස්කෘතික විප්ලවය’ 
(තරුණ පරපුර ගුරුවරුන්, කළමණාකරුවන්, ‘පොහොසත් ගොවියන්ගෙන්’ පැවත එන්නන් ත්‍රස්ත කළ මදාවියන් 
පිරිසක් බවට පත් කළේය ) ආදිය යි. 1970 සිට 1990 දක්වා බොහෝ සංවර්ධනය වෙමින් පැවති රටවල දෘෂ්ටිවාදී, 
ආගමික, ගෝත්‍රික, පීඩනෝන්මාදයෙන් පෙළි (paranoid), මහජනයාගේ සුභසිද්ධිය වෙනුවට තමන්ව මහාපුරුෂයන්ට 
ඔසවා තබන ව්‍යාපති වල යෙදුණු, මනෝව්‍යාධික බලවත් නායකයන් සිටියහ. 1990 සිට 2000 දක්වා ප්‍රජාතන්ත්‍රවාදයේ 
පැතිරීමත් සමඟ සිහි බුද්ධිය ඇති මානවවාදී නායකයන් නැගීමත් මැන්ඩෙලා, කොරසොන් අකිනෝ, එලන් ජොන්සන් 
වැනි රාජතාන්ත්‍රික නායකයන් ඇතිවීමත් සමඟ තම ජනයා ගැන සිතා කටයුතු කරන නායකයන් වැඩිපුර බිහිවිය.

තෙවැන්න නම් තුෂ්ණි යුද්ධයේ නිමාවයි. ඒ සමඟම බොහෝ ඒකාධිපතියන්ට යටින් ලැබුණු සහයෝගය අහිමි වීමත් 
සමඟ ඔවුගේ බිඳ වැටීමත් බොහෝ සිවිල් යුද්ධ වල නිමාවත් ඒ සමඟම රටවලට නිදහසත් ලැබුණි. සිවිල් යුද්ධ යනු 
මානුෂික ව්‍යවසනයක් මෙන්ම ආර්ථික ව්‍යවසනයක් ද වෙයි.  

සිව්වැන්න නම් ගෝලීයකරණයයි. තීරුබදු ලිහිල්කරණයත් ආයෝජනයට හා වෙළඳාමට පැවති අනෙකුත් බාධා ඉවත් 
වීමත් සමඟ ගෝලීය වෙළදාමේ විධාරණයක් සිදුවිය. සම්භාව්‍ය ආර්ථික විද්‍යාව හා සාමාන්‍ය දැනුමට අනුව විශාල 
වෙළඳාම් ජාලයන් බිහිවීමෙන් සාමාන්‍යයෙන් සියලු දෙනාටම පාහේ යහපතක් වන බව පැවසෙයි. සාපේක්ෂ වාසිය 
(comparative advantage) යනු සියළු රටවල් අනෙක් රටවල් යම් භාණ්ඩ හා සේවාවන් නිපදවුවද ඒවා තමන්ට 
ඉහළතම කාර්යක්ෂමතාවෙන් යුතුව නිපදිය හැකිනම් වෙළඳපොළේදී මිළදී ගන්නේ මිළෙන් අඩු දේ නිසා ඒවා 
විකුණාගැනීමට අවස්ථාව ලැබෙීමෙන් සාමාන්‍යයෙන් සියළු රටවලට යහපත් කලක් උදාවන බවයි. ඇත්ත වශයෙන්ම 
විවිධ දේශපාලන අදහස් කුමක් වුවත් ගෝලීයකරණය දුප්පතුන්ට ගෙන දුන්නේ වාසියකි. ඇත්තවශයෙන්ම යුරෝපයේ
 කාර්මීකරණය වන යුගයේ දී කර්මාන්තශාලා වල තත්වයට වඩා සංවර්ධනය වන රටවල අද තත්වය යහපත් ය. බොහෝ
 විට එම රටවල කර්මාන්තශාලා දැඩිකාර්යයන්හි යොදවන වැඩපොළවල් ලෙස (sweatshops) එම රටවලම 
කෘෂිකාර්මික කම්කරුවෙකුට වඩා ඔවුනගේ තත්ත්වය යහපත්ය. කුඹුරුවල වේදනාවෙන් කොන්ද නමාගෙන පැය ගණන්
 අවුවේ වැඩකිරීම රොමෑන්තිකකරණය කරන්නන් නොදන්නේ එම යථාර්ථයයි. කාර්මික රැකියා එක අතකින් 
කාන්තාවන් සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාවෙන් කාන්තාවන් ගලවා ගැනීමටත් උපකාරී වෙයි. බංගලාදේශ කාන්තාවන් ඇඟලුම්
 කර්මාන්ත නිසා වැඩිවන වැටුප්, පසුවී විවාහ වීම (එම රටවල කාන්තාවන් සාමාන්‍යයෙන් ඉතා අඩු වයසින් විවාහ වෙයි),
අඩු දරුවන් ප්‍රමාණයක් නමුත් ඔවුන්ට අධ්‍යාපය ලබාදීමට සමත්වීම ආදිය බුක්ති විඳින බවයි. ප්‍රගතිය යන ක්‍රියාවලිය 
සමඟ ලැබෙන සෑම දෙයක් සමඟ එකඟ විය යුතු නොවේ. අද සංවර්ධනය වන රටවල් දෙස බලන විට ළමා ශ්‍රමය, 
අයහපත් තත්ත්වයන් යටතේ වැඩ කිරීම කාර්මික සංවර්ධනයේ අනිවාර්ය අංග නොවන බව පෙනී යයි.        

       

රඩෙලට් (Radelet) දක්වන මෑතක ඇතිවූ මහා ප්‍රගතියේ (The Great Convergence) පස්වන කාරණය නම් එහි ඉතාම
 වැදගත් සාධකය වූ විද්‍යාව හා තාක්ෂණයයි. ජීවිතය යහපත් ආකාරයකට ලාබ වෙමින් තිබේ. නිෂ්පාදනය කරන 
ආකාරය පිළිබඳ දැනුම (know how) වැඩි දියුණු වත්ම පැයක ශ්‍රමයෙන් මිළදී ගත හැකි ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය, 
ඇඳුම්, ගොඩනැගිලි ද්‍රව්‍ය, පුංචු පුංචි අවශ්‍යතා හා සුඛෝපභෝගී දෙවල් ප්‍රමාණය පෙරට වඩා වැඩවෙමින් තිබේ. අද වන
 විට ලෝකයේ වැඩිහිටියන් අඩකට සමාර්ට්ෆෝන් එකක් තිබේ. දකුණු ඉන්දීය ධිවරයන් ජංගම දුරකථනය භාවිතයෙන් 
සයුරේදීම වෙළදපොළ පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැකි වීම නිසා ඉල්ලුම වැඩි නගර වලට මත්ස්‍ය අස්වැන්න 
ගොඩබෑමට හැකිවීමෙන් ඔවුන්ගේ ආදායම වැඩි වී ඇතිබව පෙනී ගොස් තිබේ. එක් ඇස්තමේන්තුවකට අනුව සෑම
 ජංගම දුරකථනයක්ම සංවර්ධනය වන රටවල දළජාතික නිෂ්පාදනයට වාර්ෂිකව ඩොලර් 3000ක් එකතු කරයි.

ඉතා පැහැදිලව ඒකපුද්ගල ආදායම (per capita GDP) හා අපේක්ෂිත අයුකාලය, සෞඛ්‍ය, පෝෂණය යන ඒවා අතර 
පැහැදිලි සම්බන්ධයක් ඇත. එතරම්ම පැහැදිලි නැතත් ඒකපුද්ගල ආදායම සාමය, නිදහස, මානව අයිතිවාසිකම් හා 
අනෙකා ඉවසීම (tolerance) වැනි වටිනාකම් සමඟ ද සබඳතාවක් දක්වන බව පෙනේ. පොහොසත් රටවල්  යුධ 
වැදෙන්නේ සාමාන්‍යයෙන් අඩුවෙනි, සිවිල් යුද්ධ ඇතිවන්නේ අඩුවෙනි, ප්‍රජාතන්ත්‍රවාදීව පැවතීම වැඩි නැඹුරුවක් 
දක්වයි, මානව අයිතිවාසිකම් වලට සාමාන්‍යයෙන් වැඩියෙන් ගරුකරයි, විමුක්ති හෝ ලිබරල් වටිනාකම්වලට (එනම් 
කාන්තාවන්ට සම තැන, කතා කිරීමේ නිදහස, සමලිංගික අයිතිවාසිකම්, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය, පරිසර සංරක්ෂණය
 ආදියට) වැඩි ගරුත්වයක් දක්වයි, එපමණක් නොව ඔවුන් පොහොසත් වත්ම සතුට/තෘප්තිය ද ඉහළ යයි. එමෙන්ම
 සුහුරුභාවය ද ඉහළ යයි.





 
(4 කොටස)


අසමානතාවය (Inequality)

නමුත් සංවර්ධනයේ ඵල නෙලාගන්නෝ පොහොසතුන් ම නොවේද? ෆ්‍රැන්සිස් පාප්තුමා අසමානතාවය හැඳින්වූයේ 
සමාජීය දුෂ්ටත්වයේ මූලය (the root of social evil) ලෙසයි. ඔබාමා පැවසුයේ අපේ කාලයට අයිති නියම ගැටළුව 
(the defining challenge of our time) ලෙසයි. ආර්ථික අසමානතාවය වමේ අනන්‍යතාව සහතික කරන ගැටළුවක් 
ලෙස පවතින දෙයකි. එය 2007 මහා මන්දාවධමනයත් (Great Recession) සමඟ නැවත ප්‍රමුඛත්වයට පැමිණියේය.
 බර්නි සැන්ඩර්ස් පැවසුවේ ඉතා සුළු පිරිසකට විශාල ධනයකුත්, විශාල පිරිසකට සුළු ධනයකුත් ඇති ජාතියක් 
සදාචාරාත්මකව හෝ ආර්ථිකව පැවතිය නොහැකි බවයි.

ඇත්ත වශයෙන්ම බොහෝ බටහිර රටවල, විශේෂයෙන්ම ඇ.එ. ජනපදයේ හා ඉංග්‍රීසි කතාකරන රටවල ආර්ථික
 අසමානතාව 1980 පමණ සිට වැඩි වෙමින් පවතී. ආර්ථික අසමානතාව මනිනු ලබන්නේ ගිනි සංගුණකය (Gini 
Coefficient) මගිනි. සාමාන්‍යයෙන් එහි අගය 0.25 සිට (එනම් සමානාත්මතාව ඉහළ ස්කැන්ඩිනේවියානු රටවල්) 0.7 
පමණ දක්වා (ඉතා අසමානතාවක් සහිත දකුණු අප්‍රිකාව වැනි) විහිදෙයි. ඇ.එ. ජනපදයේ පොහොසත්ම 1% උපයන 
ආදායම 1980 සිට 2015 වන විට 8% සිට 18% දක්වා වැඩි වුණි. එම 1% න් දහයෙන් එකක ආදායම 2% සිට 8% 
දක්වා වැඩි විය.

අසමානතාවය මානව ප්‍රගතිය කියන සන්දර්භය තුළ වටහා ගැනීමට අවශ්‍ය පළමු කාරණය නම්, අසමානතාවය මනුෂ්‍ය 
සුබසිද්ධියේ ප්‍රමුඛ සංඝටයකයක් නොවන බව වටහා ගැනීමයි. එය සෞඛ්‍ය, සමෘද්ධිය, දැනුම, ආරක්ෂාව වැනි යමක් 
නොවේ. මෙය වටහා ගැනීමට පැරණි සෝවියට් විහිළුවක් කියන්නම්. අයිගෝ හා බෝරිස් යනුවෙන් දුප්පත් ගොවියො 
දෙන්නෙක් හිටියා. වෙනස තිබුණේ අයිගෝට නැති වුණත් බෝරිස්ට එළුවෙක් හිටියා. දවසක් දිව්‍යාංගනාවක් ඇවිත් 
අයිගෝට වරයක් දුන්නා. අයිගෝගෙ ඉල්ලීම වුණේ බෝරිස්ගෙ එළුව මැරුණ නම් එයාට ඒ ඇති කියල. මේ විහිළුව 
මතු කරන කාරණය නම් ගොවියන් දෙදෙනා සමානතාවක් අත්පත් කරගත්තත් ඉන් දෙදෙනාටම වඩා යහපත් තත්ත්වයක්
 අත්පත් නොවීමයි. දාර්ශනිකයෙකු වන හැරි ෆ්‍රාන්ක්ෆර්ට් (Harry Frankfurt) ඔහුගේ 2015 ලියවුණු ‘අසමානතාවය’ 
පොතේ පවසන්නේ අසමානතාවය එරෙහිවීම සදාචාරාත්මකව යුක්තියුක්ත කළ නොහැකි බවයි. විරුද්ධ විය හැක්කේ 
දුප්පත් කමටයි. කෙනෙකු දිගුකාලයක් සෞඛ්‍ය සම්පන්නව, සතුටින්, ජීවත් වන්නේ නම් ඔහු කොපමණ මුදලක් 
උපයනවාද ඔහුගේ නිවස කෙතරම් විශාලද ඔහුට කෙතරම් කාර් තිබෙනවාද යන්න සදාචාරාත්මකව නොවැදගත් ය.
 සදාචාරයේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට සැමටම එක සමානව තිබිය යුතුය යන්න එතරම් වැදගත් නොවේ. 
සදාචාරාත්මකව වැදගත් කරුණ වන්නේ සියල්ලන්ටම ප්‍රමාණවත් තරම් ලැබී තියේද යන්නයි. මෙම ගැටළුව දෙස පටු
 ආකාරයට බැලීම නිසා බොරිස්ගේ එළුවා මැරීමට තීරණය කරන්නේ නම් එය හේතුවන්නේ විනාශයටයි.

අප අසමානතාව හා දුප්පත්කම පටලවා නොගත යුතුය. එම වැරැද්ද සිදුවන්නේ ධනය පරිමිත (lump fallacy which 
says wealth is finite) යයි ගැනීම නිසාය. එකපිරිසක් අත වැඩියෙන් එකතු වන විට අනෙක් පිරිසට අඩුවන්නේ යැයි 
සිතීමේ වරද නම් මුළු ධනය නියතයක් ලෙස ගැනීම යි. ධනය එවැනි දෙයක් නොවේ. කාර්මික විප්ලවයේ සිට එය අති
 දැවැන්ත ලෙස වර්ධනය වෙමින් තිබේ. එහි තේරුම නම් පොහොසතුන් පොහොසත් වෙද්දී දුප්පතුන්ට ද පොහොසත්
 විය හැකි බවයි. ඇත්තවශයෙන්ම විශේෂඥයන් ද මෙ වැරැද්ද කරයි. තෝමස් පිකටි (thomas Piketty, author of 
‘Capital in the Twenty - First Century’) අසමානතාවයේ දැවැන්ත ප්‍රකාශයකු වූ අතර මෙසේ ප්‍රකාශ කරයි. 
‘ජනගහණයේ දුප්පත් 50% ඔවුන් අතීතයේ දුප්පත් වූ තරමටම දුප්පත්ය. එනම් ඔවුන් සතු වන්නේ 2010 දීත් 1910 දී 
පරිදිම මුළු ධනයෙන් 5%කි’. නමුත් මුළු ධනය 1910ට වඩා දැවැන්ත ලෙස වැඩි වී තිබේ. එනයින් ඔවුන් 1910 ට වඩා
 අද බෙහෙවින් පොහොසත් ය. ධනය පරිමිත යයි ගැනීමේ තවත් හානිදායක ඵලයක් වන්නේ යම් පිරිසක් පොහොසත් 
වූයේ නම් ඔවුන් තමනට හිමි කොටසට වඩා ප්‍රමාණයක් අනෙකුන්ගෙන් සොරකම් කර ඇතැයි විශ්වාස කිරීමයි.
 උදාහරණයක් ලෙස රොබට් නොසික්ගේ (Robert Nozick) පැහැදිලි කිරීමක් 21වන සියවසට ගැලපෙන ලෙස වෙනස් 
කර කිවහොත් හැරි පොටර් කතුවරිය වූ ජේ.කේ. රෝලින් බිලියනපතියෙක් වූයේ පොත් මිලියන 400ක් පමණ 
විකිණීමත් එවැනිම පිරිසක් එම චිත්‍රපට බැලීමෙනුත්ය. එම පොත් හා චිත්‍රපට බැලීමෙන් තෘප්තිමත් වූවන් එක්කෙනා 
බැගින් පැමිණ ඩොලර් 10 බැගින් ඇයට දුන්නා යයි සිතුවොත් ඒ අය එසේ දෙන්නේ ලබා ගත් තෘප්තිය වෙනුවෙන් ය 
යන්න අපට පෙනේ. ඇගේ ධනය, මිලියන ගණනක් ජනයා ස්වේච්ඡාවෙන් ගත් තීරණයක අතුරු ඵලයක් පමණි.

ඇත්තවශයෙන්ම දුප්පත්කම පමණක් නොව අසමානතාවය පිළිබඳව ද කණගාටු වීමට හේතු තිබිය හැකිය. සමහර විට
 බහුතර ජනයා අයිගෝ මෙන් සතුටට පත්වන්නේ නිරපේක්ෂ ලෙස තමන්ගේ තත්ත්වය දෙස බලා නොව අනෙක් අය 
හා තමන් ව සන්සන්දනය කරගැනීමෙන් විය හැකිය. පොහොසතුන් තවත් බොහෝ පොහොසත් වූ විට අනෙක් 
සියල්ලන්ටම තමන් දුප්පත් වී ඇති බවක් හැඟෙනවා විය හැකිය. ඒ අනුව සියළු දෙනා පොදුවේ පොහොසත් වුවත් 
අසමානතාවය මඟින් යහපැවැත්ම (well being) අඩු කරයි. මෙය සමාජ සන්සන්දනය, සැසඳුම් කණ්ඩායම් (reference 
groups), සමාජ තත්ත්ව කාන්සාව (status anxiety), සන්සන්දනාත්මක අහිමිවීම (relative deprivation) යන 
ආකාරයට ප්‍රකාශයට පත්වන සමාජ මනෝවිද්‍යාවේ පැරණි අදහසකි. නමුත් අපි දුප්පත් රටක ගමක සිටිනා, දරුවන් අඩක්
 රෝගාබාධ නිසා මිය ගිය, වසර 50ක් ආයු අපේක්ෂාව ඇති, එවැනිම මිනිසුන් පිරිසක් සමඟ ජීවත්වන නූගත් සීමා නමැති
 කාන්තාව සලකමු. මේ ගමට එන පොහොසත් රටක සිටිනා තම දරුවන් සියල්ල වැඩෙනවා දුටු, වසර 80ක් ආයු 
අපේක්ෂාව ඇති උගත් කාන්තාවක් වූ සැලී තමන් පහළ මධ්‍යම පන්තියේ සිරවී සිටීම ගැන දුකින් සිටිනවා විය හැකිය.
 තමන්ට දකින්නට ලැබෙන් මහා ධනස්කන්දයක් තමාට කිසිදා ලැබිය නොහැකි වන බව සිතා සැලී දුක් වනවා විය 
හැකි අතර සමහර විට ඇය සීමාටත් වඩා දුකින් පසු වනවා විය හැකිය. නමුත් කිසිවෙකුටත් සීමා සැලීට වඩා යහපත්
 තත්ත්වයක සිටීය (better off) යන්න පිළීබඳව තර්ක කළ හැකිද? කිසිවෙකුත් සීමාගේ ගමේ තත්ත්වය නඟා සිටුවීමට 
කටයුතු කිරීමෙන් ගමේ සියළුම දෙනාගේ තත්ත්වය වැඩි දියුණු වන නිසා සීමා කොහොමත් අනෙක් අය හා 
සන්සන්දනය කර අන් අයට වඩා තමන්ගේ තත්ත්වය දියුණු නොවන බැවින් එසේ ගම දියුණු නොකළ යුතු යැයි තර්ක
 කළ හැකිද?     

නමුත් ඇත්ත වශයෙන් සැබෑ තත්ත්වය එය නොවේ. පොදුවේ ගත් කළ පොහොසත් රටවල ජනයා දුප්පත් රටවල ජනයාට
 වඩා සාමාන්‍යයෙන් සතුටින් පසුවන බව අනුභූතික සත්‍යකි. රටවල් වඩා පොහොසත් වෙද්දී ජනයා සතුටට පත් වුණත් 
තමන් අවට සිටින්නන් වඩා පොහොසත් බව දැකීමෙන් ඔවුන් අභාග්‍යසම්පන්න යයි හැඟීමට ඉඩ ඇත. වසංගත රෝග 
පිළිබඳ අධ්‍යයනය කරන්නෙකු වන රිචඩ් විල්කින්සන් හා කේට් පිකට් The Spirit Level කෘතියෙහි දක්වන්නේ ආදායම් 
අසමානතාවය බෙහෙවින් වැඩි රටවල මීනීමැරුම් අනුපාතය, සිරගතවීම්, නව යොවුන් ගැබ්ගැනීම්, ළමා මරණ
 අනුපාතිකය, භෞතික හා මානසික රෝගාබාධ, සමාජ අවිශ්වාසය, තරබාරුකම, ආදිය සාපේක්ෂව වැඩි බවයි. ආර්ථික 
අසමානතාවය පීඩාවන්ට හේතු වේ යයි ඔවුන් පවසති. The Spirit Level කෘතිය මඟින් පෙන්වන අසමානතාවය පිළිබඳ
 න්‍යාය වමේ ‘සියල්ල පිළිබඳ නව න්‍යාය’ ලෙස සමහරු හඳුන්වති. එමඟින් සියල්ල තනි හේතුවකින් පැහැදිලි කිරීමට 
නැමියාවක් දක්වයි. පොහොසත් මුත් ආර්ථික අසමානතාවයෙන් යුතු සිංගප්පූරුව, හොංකොං වැනි රටක ජීවත් වීම,
සමානාත්මතාවයෙන් යුතු නැගෙනහිර යුරෝපීය පැරණි කොමියුනිස්ට් පාලනයන් තිබූ දුප්පත් රටක ජීවත්වනවාට 
වඩා සමාජීයව සෞඛ්‍ය සම්පන්න ය.

ජොනතන් කෙලී හා මාරියා එවන්ස් පෙන්වා දෙන්නේ වඩා අසමානතාවයෙන් යුතු රටවල ජනයාට අනාගතය ගැන 
බාලාපොරොත්තු ඇති බවත් ඔවුන් වඩා සතුටින් පසුවන බවත් ය. අසමානතාවය අවස්තාවන් පිළිබඳ පෙරනිමිත්තක්
 ලෙසත්, අධ්‍යාපනය හා උත්සාහයට උඩුකුරු සමාජ සංචලනයට ඉඩ ප්‍රස්ථාවන් ඇති බව පිළිබඳ බලාපොරොත්තුවක්
 ජනිත කරන බවත් ඔවුන් කියයි.

තවත් ව්‍යාකූලත්වයක් නම් අසාධාරණත්වය හා අසමානතාවය එකට ගැටගැසීමයි. මිනිසුන් අසමාන සමාජයන්ට කැමති 
වන්නේ අනෙක් අයට ලැබෙන ප්‍රමාණය සාධාරණ යයි හැඟේ නම් බව පැවසෙයි. මිනිසුන් පොදුවේ අසමානතාවයට 
විරුද්ධ බවට සාක්ෂි නොමැති බවයි ඔවුන් පවසන්නේ.     

                 

යම් සමාජයක් යම්තරමක ධනයක් නිපදවන විට ධනය බෙදාහරින යාන්ත්‍රණයක් නොමැති සමාජයක යම් පිරිසක් එයින් 
වැඩි ප්‍රමාණයක් උද්ධරණය කිරීම අනිවාර්යතාවයකි. සයිමන් කුස්නෙට්ස්ට (Simon Kuznets) අනුව රටවල් වඩා 
පොහොසත් වත්ම අසමානතාවය අඩුවීමට නියමිත ය. ගෝලීයකරණයත් සමඟ ධනය ජනනය කරන්නේ කෙසේදැයි
 යන දැනුම (know how) දුප්පත් රටවලට ද පැතිරෙන නිසා එම රටවල් ද නැගී සිටීමට පටන් ගනී.

මෙය සත්‍යදැයි දැනගැනීමට එනම් දුප්පත් රටවල් පොහොසත් වීම පොහොසත් රටවලට වඩා වේගයෙන් සිදුවනවා ද 
යන්න දැනගැනීමට අප ‘අන්තර්ජාතික ගිනි සංගුණකය (International Gini) දෙස බැලිය යුතුය. 1820 සිට එය වැඩි
 වූ අතර 0.16 සිට 1970 වන විට 0.56 දක්වා වැඩි විය. කුස්නෙට් පුරෝකථනය කළ පරිදිම එය වැඩි වීම නතර වී 1980
 න් පසුව අඩුවන්නට විය. නමුත් මෙම ගණනයේදී තනි තනි රටවල් සන්සන්දනය වුව ද කොපමණ ජනගහණයක් ඇති 
ද යන්න සලකා බැලෙන්නේ නැත. බ්‍රැන්කෝ මිලනොවික් (Branko Milanovic) රටේ ජනගහණයට සමානුපාතිකව 
අන්තර්ජාතික ගිනි සංගුණකය ගණනය කළ විටත් ගෝලීය අසමානතාව අඩුවන බව පෙනී යයි.

නමුත් ඇ. එ. ජනපදයේත්, එක්සත් රාජධානියේත් 1980 පමන සිට අසමානතාවය නැවත වැඩි වන ආකාරය පෙනී යයි. 
ඉතිහාසඥ වොල්ටර් ශීඩ්ල් (Walter Scheidel) පවසන පරිදි ඉතිහාසය තුළ සමානාත්මතාවය (equality) පැමිණෙන්නේ
ඛේදවාචකයන් සමඟයි. එවැනි ආකාර සතරකි. එනම් දැවැන්ත ලෙස ජනයා සංචලනය වන යුද්ධ (mass-mobilisation
 warfare), පරිවර්තනීය විප්ලව, රාජ්‍ය බිඳ වැටීම හා මරණීය වසංගතයන් ය. මෙහිදී ධනය විනාශ කිරීමෙන්ද සේවකයන් 
විනාශ කිරීමෙන්ද සමානතාව අත්පත්  කරගැනේ. වොල්ටර් ශීඩ්ල් පවසන්නේ සමානතාවට වටිනාකමක් දෙන අප සැම
 වටහාගත යුත්තේ ඉතිහාසයේ  බොහෝවිට එය අත්පත්කරගෙන ඇත්තේ ඛේදය මතින් බවයි. 

නූතනත්වය තුළ වෙළඳපොළ ආර්ථිකය මුළු රටකම දුප්පත්කම තුරන්කිරීමේ හොඳම  වැඩසටහන වෙයි. නමුත් එය 
යමක් හුවමාරු කිරීමට යමක් නොමැති වුන් සඳහා අවශ්‍ය උපකරණ වලින් සමන්විත නොවේ. එනිසා රජයන් මුදල් 
එකතු කර දුප්පතුන් වෙනුවෙන් යොදවයි. එම මුදල් ලැබෙන්නේ බදු හරහා ය. මෙහි දී ක්‍රමාංකිත ලෙස එනම් මුදල් 
වැඩිපුර උපයන්නන්ගෙන් වැඩිපුර බදු අය කිරීමේ ක්‍රමය යොදාගැනේ. සමස්ත ප්‍රතිඵලය වන්නේ ප්‍රතිව්‍යාප්තියයි 
(redistribution). නූතන ධනවාදී සමාජයන් දුප්පතුන් දෙස නොබලන බව පවසමින් ගරහන්නන් නොදන්නේ 
පූර්ව-ධනවාදී රටවල් දුප්පතුන් කෙරෙහි කටයුතු කළේ ඉතා අවම වශයෙන් බවයි. මේ බව කාලය සමඟ සමාජ වියදම
 දළජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වන ප්‍රස්තාරය දෙස බැලූ විට පෙනී යයි. සංවර්ධිත රටවල සමාජ වියදම්
(social spending) ක්‍රමයෙන් වැඩි වී ඇත. එක්සත් ජනපදය මෙවැනි සමාජ වියදම් කෙරෙහි විශාල සමාජ විරෝධයක්
 සහිත රටක් වුවද එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 19% ඒ වෙනුවෙන් යොදවයි. එක්සත් ජනපදයේ සෞඛ්‍ය, විශ්‍රාම 
ප්‍රතිලාභ හා අබලතා ප්‍රතිලාභ ආදිය සේවා යෝජකයා විසින් ගෙවීමට බලකෙරෙන රටකි. එම සේවා යෝජකයන් විසින්
 දරණ සමාජ වියදම ද සැලකූ විට එක්සත් ජනපදයේ සමාජ වියදම දෙවැනි වන්නේ ප්‍රංශයට පමණි. ඇත්තවශයෙන්ම 
රටවල් වඩා පොහොසත් වත්ම ඔවුන් වඩා ත්‍යාගශීලි වන බව වැග්නර් නියමය (Wagner’s Law) යනුවෙන් හැඳින්වේ.
 1985 සිට 2012 වන විට මෙක්සිකෝව තම සමාජ වියදම් ප්‍රතිශතය සිව් ගුණයකින් වැඩි කළේය.

ඇ. එක්සත් ජනපදයේත්, එක්සත් රාජධානියේත් අසමානතාවය වැඩි වීමේ හේතුව ඇත්තේ ගෝලීයකරණය තුළයි. ඒ 
රටවල ව්‍යාපාර චීනය, ඉන්දියාව වැනි රටවල අඩු මිළ ශ්‍රමය සොයා යෑම නිසාත්, දෙවන කාර්මික විප්ලවය සිදු වූයේ 
ඉලෙක්ට්‍රෝනික තාක්ෂණයන් සමඟින් බැවින් ඉල්ලුම ඇති වූයේ ඉහළ කුසලතා සහිත වෘත්තිකයන්ට වීමත් ආදී හේතු
 නිසා ය.

සමස්තයක් ලෙස ලෝකය ගත් විට ජනයා බහුතරයකගේ තත්ත්වය වඩා යහපත් වී තිබේ. මොල්ලි දෙකේ ඔටුවා 
(ඒකපුද්ල ආදායම) තනි මොල්ලියේ ඔටුවෙකු බවට පත් වී තිබේ. අන්ත දරිද්‍රතාව වියැකෙමින් තිබේ. අන්තර්ජාතික හා
 ගෝලීය අසමානතා සංගුණකයන් අඩුවෙමින් පවතී. එමෙන්ම ලෝකයේ දුප්පතුන් ඇමරිකන් පහළ මධ්‍යම පන්තියේ 
වියදමින් පොහොසත් වූ බව ද සත්‍යකි. නමුත් එම ගණු දෙනුව ලෝකයේ යහපත පැත්තේන් බැලූ කල යහපතක් වූ බව 
ද සත්‍යකි.

මෑත දශක කිහිපය තුළ ජීවන මට්ටමේ (living standard) පැහැදිලි වැඩිදියුණු වීම පැහැදිලි කරන්නේ කෙසේද? 
ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ අසමානතා සංඛ්‍යලේඛන මෙහිදී නොමග යවනසුළු වියහැකි බවයි.

  1. නිරපේක්ෂ සමෘද්ධිය හා සාපේක්ෂ සමෘද්ධිය අතර වෙනස - පහළම ආදායම් ලබන පහෙන් පංගුව ලබන ආදායම් 
    ප්‍රතිශතය වැඩි නොවීම නිසා ඔවුන්ගේ තත්ත්වය එකතැන පල් වීමක් අදහස් නොවේ. වැදගත් වන්නේ ඔවුන් 
    කොපමණ උපයනවාද යන්නයි. පොහොසත් අය වැඩි වේගයකින් පොහොසත් වූ බව සත්‍යක් නමුත් දුප්පත් අය ද
     ඊට අඩු වේගයකින් පොහොසත් වී තිබේ.
  2. අනෙක නම් නිර්නාමික දත්ත සබෑ පුද්ගලයන් හා පටලවා ගැනීමයි. උදා පහළම ආදායම් උපයන 20% 
    සැලකුවොත් මේ 20% තුළ සැමදා සිටින්නේ එකම පිරිස නොවේ. එමෙන්ම ඉහළතම ආදායම ලබන 5% තුළ 
    සැමදා සිටින්නේ එකම පිරිස නොවේ.
  3. වැඩිවන අසමානතාව පහළ පන්තියේ තත්ත්වය පහතට හෙළා නැත. උදාහරනයකට එක්සත් ජනපදයේ 
    ප්‍රතිව්‍යාප්තිය (redistribution) සැලකූ විට, එනම් ක්‍රමාංකිත අදායම් බදු, රැකියා වියුක්ති රක්ෂණ, සමාජාරක්ෂණය,
     මෙඩිකෙයා, මෙඩිකේඩ්, ආහාර මුද්දර ආදී ඒවා සැලකූ විට ඇමරිකානුවන්ගේ අසමානතාවය බෙහෙවින් අඩු 
    වෙයි. 2013 දී එක්සත් ජනපදයේ වෙළඳපොළ ආදායම (market income) (බදු හා මාරුකිරීම් වලට පෙර) 
    සැලකූ විට ගිනි දර්ශකය 0.53ක් වුවද වැයකර නැති ආදායම (disposable income) (බදු හා මාරුකිරීම් වලට
     පසු) සැලකූ විට ගිනි දර්ශකය මධ්‍යස්ත අගයකි, එනම් 0.38කි.
  4. ආදායම යනු යම් අවසානයක් සඳහා මාධ්‍යයකි (means to an end), එනම් මිනිසුන්ට අවශ්‍ය, කැමති දේවල්
     වලට ගෙවීමට එනම් පරිභෝජනය සඳහා අවශ්‍ය වන දෙයකි. දුප්පත්කම නිර්වචනය කිරීමේ දී ඔවුන් උපයන 
    දෙයින් නොව ඔවුන් පරිභෝජනය කරන දෙයින් නිර්වචනය කළ විට ඇමරිකන් දුප්පත්කම 90% කින් අඩු වී
     ඇති එනම් 30% සිට 3% දක්වාය. ගෝලීයකරණය මගින් ‘ආදායම’ යන කරුණේ දී ජයග්‍රාහකයන් හා 
    පරාජිතයන් බිහිකරන මුත් ‘පරිභෝජනය’ නම් කරුණේදී සියල්ලන්ම පාහේ ජයග්‍රාහකයන් ය. කොපමණ 
    උද්ධමනය සඳහා සීරුමාරු කළ ද අද ඩොලර් එකකින් ගත හැකි දේ ඊයේ දේට වඩා වැඩි ය. 2011 දී දරිද්‍රතා
     ඉමට පහළින් වූ නිවාස 95% කට විදුලිය, නල ජලය, ශීතකරණ, උඳුන්, වර්ණ රූපවාහිනියක් තිබිණ. (ශතවර්ෂ
     එක හමාරකට පෙර ලෝකයේ ඉහළම ධනපතියන්ට ද ඒවා නොතිබුණි.) ඔවුන්ගෙන් 50% කට පමණ පිඟන් 
    කෝප්ප හෝදන යන්ත්‍රයක් ද, 60% කට පරිගණකයක් ද, ⅔ කට රෙදි සෝදන හා වේලන යන්ත්‍රයක් ද, 80% 
    කට වායුසමීකරණයක්, වීඩියෝ රෙකෝඩර් එකක් හා ජංගම දුරකථනයක් ද තිබුණි. ඇත්තවශයෙන්ම ගිනි 
    සංගුණකය පරිභෝජනය සඳහා ගණනය කළ විට එය වැඩි වීමක් සිදු නොවේ. දුප්පත් ජනයාගේ ජීවිත 
    පොහොසත් ජනයාට වඩා වැඩි වේගයකින් වැඩිදියුණු වී තිබේ.

මෙහි අර්ථය කිසිදු ගැටළුවක් නැතැයි කීම නොවේ.  වැයකර නැති ආදායම (disposable income) වැඩි වුවද වැඩි වන
 වේගය මන්දගාමී ය. එහි ඵලයක් ලෙස පාරිභෝගික ඉල්ලුම අඩුවීම සමස්ත ආර්ථිකයට බලපාන්නේ යහපත් ආකාරයට 
නොවේ. ජනගහනයේ විවිධ කාණ්ඩ වලට එකිනෙකට වෙනස් ගැටළු වලට මුහුණ දීමට සිදු වී ඇති බව සත්‍යකි. රියදුරන්
 නොමැති මෝටර් රථ වල පැමිණීම, රොබෝ තාක්ෂණය, තෘතීයික අධ්‍යාපයට ගෙවීමට සිදුවී ඇති ඉතා ඉහළ මිළ ආදිය
 ඒ අතර වේ. සමහර විට ඊළඟ විසඳුම සාධාරණ අවම ආදායම (universal basic income) විය හැකිය. නැතිනම් 
සෘණාත්මක ආදායම් බදු (negative income tax) විය හැකි ය. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීම දුෂ්කර බව ද සත්‍යකි. 
සමස්තයක් ලෙස අසමානතාවය යනු මානව ප්‍රගතියට ප්‍රතිවිරුද්ධ කාරණාවක් නොවේ. එමෙන්ම අප ජීවත් වනුයේ 
ශතවර්ෂ ගණනක් නැඟි සමෘද්ධිය නැවතී ආදායම් පහළට යන ඩිස්ටෝපියාවක ද නොවේ. 




ජීවිතයේ ගුණාත්මක බව (quality of life)   

ආයුකාලයත් ආදායමත් වැඩි වත්ම මිනිසුන් හුදු පරිභෝජනවාදයට යොමු වන්නේ නැද්ද? හිස් පරිභෝජනය, අර්ථ විරහිත
 විනෝදය හෝ ඉච්ඡාභංගත්වයෙන් මිනිසා වෙලා නොගනී ද? පැරණි විහිළු කතාවකට අනුව එක් කතිකයෙක් මෙසේ 
පවසයි. “විප්ලවය ඔබ පැමිණෙන්න. සියල්ලන්ම ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් අනුභව කරනු ඇත.” අසා සිටියෙක් මෙසේ මුමුණයි.
 “ඒත් මම ඒවට කැමති නෑනේ”. කතිකයා,”විප්ලවය ඔබ පැමිණෙන්න. ඔබ සියල්ලන්ම ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් වලට කැමති
 වනු ඇත” යනුවෙන් පවසයි. අමාර්ත්‍ය සෙන් පවසන පරිදි සංවර්ධනයේ පරම අභිමතාර්ථය විය යුත්තේ මිනිසුන්ට 
තෝරාතැනීමට හැකියාවක් ඇති කිරීම බවයි. එනම් කැමති අයට ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් ලෙසයි. මාර්තා නස්බවුම් (Martha 
Nussbaum) සියළු මිනිසුන්ට අභ්‍යාස කිරීමට අවස්ථාවක් ලැබිය යුතු ‘මූලික ශක්‍යතාවන් (fundamental capabilities)’
 පිළිබඳ කතාකරයි. ඒවා මනුෂ්‍ය ස්වභාවය විසින් අපට දෙන ලද යුක්තිසහගත කළ හැකි තෘප්තියේ ප්‍රභවයන් ලෙස සිතිය 
හැකි ය. ඇයගේ ලැස්තුවේ චිරජීවනය, සෞඛ්‍ය, ආරක්ෂාව, සාක්ෂරතාව, දැනුම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම හා 
දේශපාලන සහභාගීත්වය යන ඒවා වෙයි. එමෙන් ම සෞන්දර්යාත්මක අත්දැකීම, විනෝදාස්වාදය හා ක්‍රීඩාව, සොබාදහම 
රසවිඳීම, භාවාත්මක බැඳීම්, සමාජ සම්බන්ධතා හා තමන්ගේම ජීවිතය ගැන වූ සංකල්පීයකරණය පිළිබඳ ආවර්ජනය 
කිරීමට ඇති අවස්ථාව වැනි දේ ද ඊට ඇතුළත් ය.

මේ පරිච්ඡේදය මඟින් පැහැදිලි කරන්නේ ඒවා අත්පත් කරගැනීමේ කතාවයි. කලහාරි කාන්තාරයේ සෑන් නම් ගෝත්‍රයේ 
මිනසුන් දිනකට අවම පැය 8ක් ආහාර වෙනුවෙන් පමණක් වැය කරන බව කියවෙයි. 1800 ගණන් වල බටහිර 
යුරෝපයේ පැය 60ක  වැඩ සතියක් යනු ඉතා යහපත් තත්ත්වයකි. ඇමරිකානුවන් කතියකට පැය සාමාන්‍යයෙන් 62ක් 
වැඩ කළෝය. වසරටම නිවාඩු තිබුණේ දින එකකි, එනම් නත්තලයි. මේ වන විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බටහිර
 යුරෝපයේ වැඩ සතියක් යනු පැය 28ක් පමණය. ප්‍රස්තාරය බලන්න.

මෝගන් හවුසල් මෙසේ කියයි, “අපි නිරන්තරව ළඟ එන විශ්‍රාම අර්බුදයක් ගැන දැන් වද වෙමින් සිටිමු, නමුත් විශ්‍රාම
ගැනීම නැති සංකල්පයට තවම දශක පහක්වත් ගෙවී නැත. එකල ඇමරිකානු මනුෂ්‍යයෙකුට තිබුණේ ජීවිතයේ අවධින්
 දෙකකි, එනම් වැඩ කිරීම හා මරණයයි. සාමාන්‍ය ඇමරිකානුවෙක් අවුරුදු 100කට පෙර අවුරුදු 51ක් ජීවත් විය, දැන් 
ඔවුන් විශ්‍රාම ගන්නේ 62 නි”. 1880 දී විශ්‍රම වයසේ පසුවන්නන් 80% සේවයේ යෙදී සිටියහ. 1990 වන විට එම 
ප්‍රතිශතය 20% කට අඩු විය. ප්‍රස්තාරය බලන්න.


1919 දී ඇමරිකානු දෛනික වැටුපට වැඩ කරන්නෙකුට ශීතකරණයක් ගැනීමට පැය 1800ක් වැඩ කළ යුතු විය. 2014 දී
 එය පැය 24කටත් අඩුවෙනි. විදුලිය, නල ජලය, විදුලි උපකරණ අපට ලබා දෙන්නෙ කාලයයි. එනම් අපේ අත්තම්මා 
වතුර ඇදීමට,රෙදි සේදීමට, අතුගෑමට, වේලීමට, කෙටීමට, පෙලීමට, ධාන්‍ය වල ගල් වැලි ඉවත් කිරීමට, තෙල් හිඳීමට,
 බිම ගොම මැටි ගෑමට නැතිනම් පොලිෂ් කිරීමට, ගෙතීමට, මැසීමට, පිලිසකර කිරීමට ආදිය සඳහා ගත කළ කාලයයි. 
කිසිවෙකු හෝ ඒවා මිලදී ගැනීමට පරිභෝජනවාදය යයි පවසන්නේ නම් එය හාස්‍යජනකය. ඇමරිකානුවන් 1920 දී 
රෙදි සේදීමට සතියකට පැය 11.5 ක් වැය කළ අතර 2014 දී එය පැය 1.5කි. හාන්ස් රොස්ලින් යෝජනා කරන්නේ 
රෙදිසෝදන යන්ත්‍රය කාර්මික විප්ලවය විසින් නිපැයූ ශ්‍රේෂ්ඨතම නිර්මාණය බවයි. ගැහැණු පිරිමි ලෙස නිවසේ වැඩ 
බෙදී තිබූ යුගයෙන් ගැලවීමට එම උපකරණ තීරණාත්මක විය. එක්සත් ජනපදයේ නිවසක විදුලි උපකරණ හා ගෙදර 
වැඩ ප්‍රමාණය කාලයත් සමඟ අඩු වීම ප්‍රස්තාරගත කර ඇත.


ජීවිතයේ ගුණාත්මකභාවයට සෘජුව බලපාන තවත් දෙයක් නම් ආලෝකය යි. ආලෝකය සඳහා වැය වන මිල ප්‍රස්තාරගත
 කර ඇත. ඇඩම් ස්මිත් පවසන්නේ ඔනෑම දෙයක නියම මිළ යනු එය ලබා ගැනීමට දරන උත්සාහයත් මහන්සියත් බවයි.
 උදාහරණයකට බැබිලෝනියානුවෙකුට පැයක ආලෝකය සඳහා අවශ්‍ය තල ලේ ලබා ගැනීමට ඔවුහු පැය 50ක් වැඩකළ
 යුතු විය. 1800 දී ඉංග්‍රීසි ජාතිකයෙකුට පැයක් ඉටිපන්දම් දැල්වීමට ඔවුහු පැය 6ක් වැඩ කළ යුත් විය. 1880 දී එය විනාඩි
 15ක් බවටත්, 1950 දී එය තත්පර 8ක් බවටත් 1994 දී එය තත්පර බාගයක් බවටත් පත් විය.

එමෙන්ම එක්සත් ජනපදයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා වැය කරන මුදල ආදායමේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට 
එය දිගින් දිගටම අඩු වී ඇති බව පෙනේ.

ජනප්‍රිය මතයට අනුව සියලු දෙනා ඉතාමත් කාර්යබහුල බව පැවසුවත් සංඛ්‍යාන වාර්තා පෙන්වා දෙන්නේ විවේක කාලය
 තව තවත් වැඩි වී ඇති බවයි.  

නවයුගයේ මිනිස් සබඳතා නවතාක්ෂණයත් සමඟ දුරස්වන බවට මැසිවිලි නැගුණත් සමාජ මාධ්‍ය හා ඉලෙක්ට්‍රෝකින 
මධ්‍ය නිසා සියළු දෙනා ඉතා සමීප වී තිබේ. එදා ලිපි මඟින් තොරතුරු හුවමාරු කරගත් අවුරුදු ගණන් සය ලබැඳියන් 
දකින්නට නැතිව ගිය කාලය හා සැලකූ විට අද ලෝකයේ අඩකට අන්තර්ජාල පහසුකම් තිබේ. ¾ කට ජංගම 
දුරකතනයකට ප්‍රවේශය ඇත.

එක්සත් ජනපදයේ ගුවන්ගමන් වියදම හා අන්තර්ජාතික සංචාරකයන්ගේ පැමිණීම් ප්‍රමාණය ප්‍රස්තාර වල දක්වා ඇත.



[කෘතියේ තෙවන කොටස මෙතැන් සිට. මෙම කොටසේදී පින්කර් හේතුව, විද්‍යාව හා මානවවාදය යන ඒවාට එදිරිව 
ඉදිරිපත් වී ඇති අදහස් විවේචනය කෙරේ]

හේතුව (Reason)

හේතුවට එරෙහි වීම නෛසර්ගිකව ම අහේතුක ය. එහෙත් හිසට වඩා හදවත ප්‍රිය කරන්නන්ගේ අඩුවක් නොමැත. හේතුව
 යනු බලය සඳහා වූ මවාපෑමක් බවත්, යථාර්ථය ගොඩනැංවීමක් බවත්, සියලු ප්‍රකාශ එම ප්‍රකාශ දෙසටම යොමු වූ 
ජාලයක සිර වී ඇති බවත් (trapped in a web of self reference), අවසානයේ පරස්පරයන්ට බිඳවැටෙන බවත් පවසන
 පශ්චාත් නූතනවාදී ඇදහීම එවැන්නකි. ලෝකය වඩා තාර්කික ස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ කිරීම නිරර්ථක 
බව පෙන්වීම එහි ඇඟවුමයි. නමුත් මෙම ආස්ථානයන්ගේ දුර්වල කම නම් ඔවුන් ඔවුන්වම ප්‍රතික්ෂේප කිරීමයි. එනම් 
එම ආස්ථානයන් විශ්වාස කිරීමට හේතුවක් ඇති බව ඔවුහු ප්‍රතික්ෂේප කිරීමයි. තෝමස් නගෙල් (Thomas Nagel) 
ඔහුගේ The Last Word කෘතියේ තර්කය හා යථාර්ථය පිළිබඳ ආත්මීයභාවය (subjectivity) හා සාපේක්ෂතාවය 
(relativism) අසංගත බව පවසයි. මක් නිසාද යත් කෙනෙකුට යමක් විවේචනය කිරීමයට තවත් යමක් තිබිය යුතු 
නිසාය. “සියල්ල ආත්මමූලික වන බවට වූ ප්‍රකාශය විකාරයකි. මන්ද යත් එම ප්‍රකාශය ම එක්කෝ ආත්මමූලික හෝ 
වාස්තවික එකක් විය යුතුය. (‘’...itself have to be either subjective or objective). නමුත් එය වාස්තවික විය
 නොහැකිය, මන්ද එය සත්‍ය නම් එම ප්‍රකාශය අසත්‍ය වන බැවිනි. එය ආත්මමූලික ද විය නොහැකිය, මන්ද එවිට එම
 ප්‍රකාශයට වාස්තවිකත්වයක් අහිමි වන බැවිනි, එනම් එය වාස්තවිකව අසත්‍ය වන බැවිනි (objectively false).”   

අප ‘හේතුව’ විශ්වාස කරනවා නොවේ. අප හේතුව භාවිතා කරනවා පමණි. හේතුව සියල්ලටම ප්‍රථමව පවතින නිසා 
එය ප්‍රමූළධර්ම වලින් ඔප්පු කළ නොහැකි ය. අප එය භාවිතා කරන විට යම් ආකාරයක හේතුදැක්වීමක් වඩා නිරවද්‍ය 
බව දැනගත හැකි වන්නේ එහි අභ්‍යන්තර සංගතභාවයත් එය යථාර්ථය සමඟ දක්වන ගැලපීමත් මඟිනි. එම හේතුවෙහි 
යෙදවීම තහවුරු වන්නේ අපගේ කැමැත්ත පරිදි ලෝකය නැමීමට අපට ලැබෙන හැකියාව අනුවයි. එමඟින් ලෙඩ රෝග
 සනීප කිරීමට හැකියාව ලැබේද නැතිනම් හඳ මත පා තැබීමට හැකියාව ලැබුණේ ද යන්න මතයි.  

මේ වන විට ඩැනියෙල් කානමන්ගේ (Daniel Kahneman) thinking Fat & Slow, ඩෑන් ඇරිලීගේ (Dan Ariely) 
Predictably Irrational වැනි කෘති මඟින් මානව අතාර්කිකත්වය පිළිබඳ බොහෝ දෙනා දැනුවත් ය. මම පෙර ද මේ
 ඥානන දුර්වලතා එනම්, අප දන්නා කතන්දර අනුව සම්භාවිතාව ඇස්තමේන්තු කිරීම, ඒකාකෘතීන් (stereotypes) 
පුද්ගලයන් මතට ප්‍රක්ෂේපණය කිරීම, තහවුරු කරන කරුණු මිස විඛණ්ඩනය කරන සාක්ෂ්‍ය නොතකා හැරීම, අනතුරට
 හා අහිමිවීමට අතිශය බිය වීම, සාධ්‍යතාව (teleology) මත හේතු සෙවීම, යාන්ත්‍රික හේතුව හා ඵලය වෙනුවට මිථ්‍යාමය
 සාම්‍යයන් සෙවීම ආදිය යි. මේවා වැදගත් නමුත් එය මිනිසා තාර්කිකව ක්‍රියාකරන්නෙකිය යන ප්‍රබුද්ධත්ව ප්‍රඥප්තිය 
ප්‍රතික්ෂේප කරන්නකියි සිතීමත්, එමඟින් අප ද හේතුව තර්කය අතහැර හැඟිම් අවුස්සන දේශපාලනය පරාජය කිරීම
 එවැනිම හැඟීම් අවුස්සන දේශපාලනයක් මඟින් කළයුතුය යන නිගමනය එළැඹෙන්නේ නම් එය වැරදි ය. මන්ද කිසිදු 
ප්‍රබුද්ධත්ව චින්තකයෙකු මිනිසා සංගත ලෙස තාර්කික යයි කියා නැත. කාන්ට්, ස්පිනෝසා, හියුම්, ස්මිත් වැන්නන්ගේ
අදහස වූයේ අප තාර්කික විය යුතු බවත් අපව වසඟ කරනා මිත්‍යාවන් හා ඇදහීම් යටපත් කිරීමට අප උගත යුතු බවත්,
 තනිව නොහැකි නම් සාමූහිකව අපට තාර්තික විය හැකි බවත් ය (එනම් ආයතන ඇති කිරීම හා සම්මතයන් පිළිපැදීම 
තුළින්).

මිනිසුන් සමහර විට පරිණාමය පිළිබඳ විශ්වාස කරන්නේ ඒ පිලිබඳ දැනුමක් නොමැතිවයි. මහජන අවකාශයේ 
තාර්තිකත්වය පිළිබඳ හොඳ විශ්ලේෂණයක් කළ ඩෑන් කහන් (Dan Kahan) පවසන්නේ යම් යම් විශ්වාසයන් 
සංස්කෘතික පක්ෂපාතීත්වයේ සංඛේත බවට පත් වී ඇති බවයි. මිනිසුන් එම විශ්වාසයන්ට එකඟ වනවා ද නැද්ද 
යන්න තීරණය වන්නේ තමන් ඒවා දන්නා නොදන්නා බව මත නොව තමන් කවුදැයි ප්‍රකාශ කිරීමට බවයි. එනම් 
විශ්වාසයන් අනන්‍යතාව පිළිබඳ කාරණාවක් බවට පත්ව ඇති බවයි. අපි සැවොම උපසංස්කෘතික ගෝත්‍ර හා අනන්‍ය 
වී ඇති අතර යහපත් ජීවිතයක් යනු කුමක්ද සමාජය පවත්වාගෙන යා යුත්තේ කවරාකාවද යනාදිය මත වන ඇදහීම් 
වැලඳගෙන සිටිමු. කෙනෙකු හඳුනාගන්නේ දක්ෂිණංශිකයෙකු විසින් ස්වභාවික ධූරාවලීන් ඉවසීමත්, වාමාංශිකයෙකු 
විසින් බලකරන ලද සමානාත්මත්මතාව ඉවසීමත් ආදිය සන්සන්දනය කිරීම මඟිනි. දෙන ලද විශ්වාසයක් එය රාමු 
කරන ලද ආකාරය හෝ එය අනුමත කරන්නේ කවුද යන්න මත යම් නූතන ගෝත්‍රයක අනන්‍යතාව හඟවන කාරණයක් 
විය හැකිය. කහන් ප්‍රකාශ කරන පරිදි “දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාව ජනයා පිළිනොගැනීමට මූලික හේතුව එය 
ඔවුන්ට වටහාගත නොහැකි වීම නොවේ. දේශගුණ විපර්යාස පිළිබඳ දරණා ස්ථාවරය මත ඔවුන්ගේ වටිනාකම් 
පෙන්වාලන්නක් වීමයි - ජනසමූහය පිළිබඳ සැලකිලිමත් වීමට එදිරිව ස්වශක්තිය මත පිහිටා කටයුතු කිරීම, … 
සොබාදහම සමඟ සුසංවාදයෙන් කටයුතු කිරීමට එදිරිව එය දමනය කිරීම - යනාදිය මඟින් ඔවුන් සංස්කෘතික සීමා
 ඔස්සේ වෙන් කර දමයි”. මිනිසුන් බෙදාලන වටිනාකම් අතර සමාජයේ අවාසනාවන්ට හේතු වන්නේ කුමන යක්ෂයාද 
(එනම් කෑදර සමාගම්, අසංවේදී ඉහළ සමාජය, අවුල් කරන නිලධාරී තන්ත්‍රය, බොරුකරනා දේශපාලකයන්, පටු 
ගැමියන් (බයියන්?) සහ බොහෝ විට සුළු ජාතීන් ) යන්නද එකකි. කහන් ප්‍රකාශ කරන පරිදි මිනිසුන් ඔවුන්ගේ 
විශ්වාසයන් පක්ෂපාතීවය සඳහා වූ දිව්රුමක් සේ සැලකෙන නිසා එක අතකින් තාර්කික බවයි. සුළු පිරිසක් හැර 
අනෙක් අය දරණ මතයන් සමාජය මත විශාල බලපෑමක් නොකළ ද යම් දේශපාලනීයකරණය වූ කාරණයක් සම්බන්දව
 කෙනෙකු ‘වැරදි’ මතයක් ප්‍රකාශ වුවහොත් එය එම සමාජය තුළ ඔහු කෙරෙහි ඇති ගෞරවය කෙරෙහි ඇති දැඩි 
බලපෑමක් ඇති කරයි. සමහර විට පාවාදීමක් බවට වුව ද පත් විය හැක. කහන් පවසන්නේ අප සියල්ලන් මේ ‘පොදු 
විශ්වාසයේ ඛේදවාචකය’ (Tragedy of the Belief Commons) තුළ රඟන නළු නිළියන් බවයි. මෙහිදී ‘‘පොදු 
විශ්වාසයේ ඛේදවාචකය’ යනු තනි පුද්ගලයෙකු සඳහා තාර්කික ලෙස දැනෙන විශ්වාසයන් (එනම් තමන් පොරක් 
කරවන විශ්වාසයන්) සමස්ත සමාජයක් ලෙස සැලකූ විට විශ්වාසයන් (යථාර්ථය  මත පදනම් වූ) හා සැලකූ විට 
අතාර්කික වීමයි.

‘ප්‍රකාශමය තාර්කිකභාවය’ (expressive rationality) හෝ ‘අනන්‍යතා ආරක්ෂණ ඥානනය’ (identity protective 
cognition) යන ඒවායේ පිටුපස ඇත්තේ කවරක්ද යන්න මත 21 වන සියවසේ අතාර්කිකභාවය පැහැදිලි කළ හැකි ය.
 උදාහරනයක් ලෙස දේශපාලනයේ දී ඉතා විකාර සහගත කතා (හිලරි ක්ලින්ටන්ට ඉතා අසාධ්‍ය බවත් පෙනී සිටින්නේ 
වෙනත් සමාන පෙනුමැත්තෙකු බවත්) යනු දේශපාලන සන්ධාන කෙරෙහි ඇති පක්ෂපාතීත්නව පිළිබඳ සංඥා බවයි. 
‘‘පොදු විශ්වාසයේ ඛේදවාචකය’ කොතෙක් ගැඹුරට විහිදෙන්නක් ද යත් විශේෂඥභාවය, බුද්ධිය හෝ සවිඥානික 
තර්කනය යනාදි සත්‍ය කෙරෙහි එළඹීම සහතික කරන්නේ නැත. මනෝවිද්‍යාඥයන් බොහෝ කලක පටන් දන්නා 
කරුණක් නම් අපගේ මොළය අභිප්‍රේරණය වූ තර්කනයත් (motivated reasoning)” (එනම් යම් දෙන ලද තර්කයක්
 නිශ්චිත නිගමනයක් දෙසට යොමුකිරීම), පක්ෂපාතී ඇගයුම් (biased evaluation) (එනම් තමන් කැමති දේට 
පටහැනි වන සාක්ෂ්‍ය වල අඩුපාඩු සෙවීමත් කැමති සේට සහය දක්වන සාක්ෂ්‍ය පහසුවෙන් පිළිගැනීමත්), තමාගේ 
පාර්ශවයට පක්ෂපාතී වීම  වැනි දෑ මඟින් ආසාදනය වී ඇති බවයි.

ඉතින් අපට කළ හැක්කේ කුමක් ද? කරුණු හා තර්කය මත පදනම් ව පෙලඹවීම හැමවිටම ඵලරහිත වන්නේ නැත. 
මිනිසුන් තමන්ගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ අදහස් වලට අභිමුඛ වූ වහාම තමන්ගේ මතය මත තවත් එළඹගනියි
 (‘අනන්‍යතා ආරක්ෂණ ඥානනය’ (identity protective cognition), අභිප්‍රේරණය වූ තර්කනයත් (motivated 
reasoning), එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් තබා ගැනීමට මැලි වීම (cognitive dissonance reduction)  ආදී ඒවා
 ක්‍රියාත්මක වීම මඟින්). තමන්ගේ අනන්‍යතාව තර්ජනයට ලක්ව ඇති බව හැඟීමෙන් ඔහු හෝ ඇය තවත් තීව්‍ර ලෙස 
අභියෝගය මැඩපැවැත්වීමට උත්සාහ කරයි. නමුත් ඇප දැනගත යුත්තේ මේ අතරම එම පුද්ගලයාගේ මනසේ එක් 
පැත්තක් යථාර්ථය සමඟ යම් සබඳතාවක් පවත්වාගෙන යන බවයි. අනතුරුව ප්‍රතිවිරුද්ධ සාක්ෂි විශෘල ලෙස එකතු වී 
දරාගැනීමට නොහැකි මොහොත පැමිණි විට එම ආකල්පය බිඳ වැටේ, එම මොහොත හඳුන්වන්නේ ආවේදනාත්මක 
පෙරළුම් මොහොත (affective tipping point) ලෙසයි.

විද්‍යාව

මානවයන් ලෙස අප ලබා ඇති ඉහළම ජයග්‍රහණය කුමක් දැයි පිටසක්වල ජීවියෙක් ඇසුවොත් කුමක් කියමුද? 
මානවහිමිකම් ? ෆැසිස්ට්වාදය පැරදවීම ? ඒවා සිත්ඇදගන්නාසුළු වුවත් ඒවා මානවයා විසින්ම ඇති කළ ගැටළු නිසා 
අපට ඒතරම් ආඩම්බරයෙන් ඒවා පැවසිය නොහැක. මත්ද්‍රව්‍ය වලින් ඈත් වීම ඔබගේ ජයග්‍රහණයක් වුවත් එය ඔබගේ
 CV එකේ සඳහන් කළ නොහැක. අපට ඇත්තටම කිව හැකි දෙයක් නම් විද්‍යාවයි. අප කොතරම් අඥාන විය හැකි 
වුවත් අපගේ දැනුම දිනෙන් දින වර්ධනය වෙමින් පවතියි. භෞතික විද්‍යාඥ ශෝන් කැරොල් (Sean Carroll) The 
Big Picture කෘතියේ පවසන්නේ දෛනික ජීවිතය රඳාපවතින භෞතික විද්‍යා නියමයන් දැනටමත් අප සම්පූර්ණයෙන්ම
 දන්නා බවයි (කලු කුහර, මහා පිපිරුම වැනි දෑ හැර). වොට්සන් හා ක්‍රික්  DNA වල සත්‍ය ස්වභාවය සොයාගත් 
මොහොතේ මීට අවුරුදු 50,000කට පෙර සිටි නියැන්ඩතාල් මානවයාගේ DNA පරීක්ෂා කර ඔවුනට ද කථනය හා
 භාෂාවට අදාළ ජාන තිබෙන බව සොයාගනීවි යැයි නොසිතන්නට ඇත. විද්‍යාව මානවයා කෙරෙහි නව ආලෝකයක් 
හෙළමින් තිබේ. විද්‍යාව 20වන සියවසේ පමණක් ජීවිත මිලියන 300ක් බිලිගත් වේදනාකාරී වසූරිය රෝගය තුරන් 
කිරීමට සමත් විය. එය අපට ජීවිතය, සෞඛ්‍යය, ධනය, දැනුම හා නිදහස ලබා දීමට සමත් විය.

චෙකොව් වරක් කීවේ ජාතික ගුණකිරීමේ චක්‍රයන් නොමැති සේම ජාතික විද්‍යාවන් ද නොමැති බවයි. නමුත් 
දක්ෂිනාංශික දේශපාලනයේ බොහෝවිට පරිණාමය, දේශගුණික විපර්යාස වැනි කාරණා වලදී විද්‍යා විරෝධයක් දක්නට
 ලැබේ. විද්‍යාවේ හැකියාව ඇත්තේ යථාර්ථය පිළිබඳ එහි පදනම් අවබෝධය හේතුවෙනි. උදාහරණයකට GPS 
දැනුම භාවිතා කරයි, පිළිකා ප්‍රතිකර්ම වලදී ද්වි හෙලික්සීය ජාන පිළිබඳ අවබෝධය භාවිතා කරයි. එමෙන්ම කෘතිම
 බුද්ධිය සඳහා මොළය හා ඥානන විද්‍යාවන් දියුණු කළ නියුරෝනමය හා අර්ථවේදීමය ජාල පිළිබඳ දැනුම භාවිතා කරයි. 

බොහෝ විද්‍යාර්ථින්  විද්‍යාව සාම්ප්‍රදායික මානව ශාස්ත්‍ර වලට (එනම් දේශපාලන විද්‍යාව, ඉතිහාසය, කලා විෂයන්) 
ඇතුළු වනවාට දැඩි ලෙස විරෝධය පායි. බොහෝ සඟරාවල විද්‍යාව කරතියාගෙන යන්නන්හට නියතිවාදී වීම
 (determinism), ඌනතිවාදී වීම (reductionism), සාරාත්මවාදී වීම (essentialism), යථානුභූතිවාදී වීම (positivism)
 හා ඊටත් අන්ත අපරාධයක් වූ විද්‍යාවාදී වීම (scientifism) වැනි චෝදනා වලට ලක් වීමට සිදු වේ.       


ජනඝාතක යුද්ධ වලට හෝ ජාතියක සදාචාරාත්මක හෝ අධ්‍යාත්මික සෞඛ්‍ය තර්ජනයට ලක්වීම කෙරෙහි විද්‍යාව
 වගකිව යුතු යැයි සිතීම විකාරයකි. ඇත්තවශයෙන්ම විද්‍යාව මානවයාගේ සෑම අස්සක් මුල්ලක් නෑරම, එනම් 
දේශපාලනය, කලාව, ජීවිතයට අර්ථයක් සෙවීම, අරමුණ හා සදාචාරය ආදී සියල්ල වෙතින් වෙන් කළ නොහැකි 
යථාර්ථයකි. ඉන් මිදීමේ පළමු පියවර මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විද්‍යාර්ථින්ගේ ඇති බන්කර් මානසිකත්වය (එනම් 
ඔය විද්‍යාවට අවශ්‍ය වී ඇත්තේ ලිබරල් කලා ක්ෂේත්‍රය ආක්‍රමණය කිරීමට බවට  වූ මානසිකත්වය) තුළින් මිදීමයි. 
විද්‍යාත්මක චින්තනය රෙකමදාරු කිරීමට ප්‍රථම අප වටහා ගතයුත්තක් නම් ඔවුන් විශේෂයෙන් උසස් හෝ බුද්ධිමත් 
වීමක් නැති බවත් විද්‍යාත්මක සංස්කෘතිය සමන්විත වන විවෘත විවාද කිරීම්, double blind ක්‍රමවේදයන් යනාදිය
 පවතින්නේ විද්‍යාඥයන්ද මනුෂ්‍යයන් බැවින් ඔවුන්ද වරදට පෙළඹීට ඇති ඉඩ නිසාය. රිචඩ් ෆෙන්මන් (Richard
 Feynman) කී පරිදි විද්‍යාවේ පළමු මූලධර්මය නම් තමන් තමාව රවටා නොගත යුතු බවයි - එමෙන්ම ඔබට 
පහසුවෙන්ම රැවටිය හැකි පුද්ගලයා වන්නේ ද ඔබම බවයි. එනිසා විද්‍යාත්මකව සිතීම යනු විද්‍යාඥයන්ට සියල්ල 
පැවරීම නොවේ. බොහෝ විද්‍යාඥයන් ප්‍රතිපත්ති හා නීති වැනි දේ වලදී ඉතා අවිදග්ධ බව පෙනෙයි. සමූහික තීරණ 
ගැනීමේ දී අපට ඥානාන්විත ලෙස එය කල හැකි බවයි මෙහිදී සැලකිය යුත්තේ. විද්‍යාත්මක චින්තනයට ගරු කිරීම
 යනු සියලු පවතින විද්‍යාත්මක කල්පිත පිළිගැනීම නොවේ. ඇත්තටම බොහෝ ඒවා සත්‍ය නොවේ. විද්‍යාවේ ජීවය
 වන්නේ අනුමිතිය හා ඛණ්ඩනයේ (conjecture & refutation) චක්‍රයයි. එනම් සංසිද්ධීන් පැහැදිලි කිරීමට යම් 
යම් කල්පිත ඉදිරිපත් කරමින් පරීක්ෂාව/ නිෂේධ කිරීමට දරණ උත්සාහ තුළින් තහවුරු කරගැනීම හා එසේ 
නොවන විට එම කල්පිත ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලියයි.

විද්‍යාව වටා තාප්පයක් බැඳීමේ උත්සායහය වීසල්ටියර්ගේ (Weiseltier) “විද්‍යාව සදාචාරයට, දේශපාලනයට, 
හා කලාවට අයත් දයන්න තීරණය කිරීම විද්‍යාවට අයිති කර්තව්‍යයක් නොවේ. ඒවා දාර්ශනික ප්‍රශ්නයි. විද්‍යාව 
යනු දර්ශනය නොවේ” යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඇත්ත වශයෙන්ම මෙහිදී ඇකඩමික විනය හා ප්‍රස්තූතයන්
 පැටලැවීමයි මේ සිදුකරන්නේ. ඇකඩමික විනය මඟින් දෙපාර්ශවයම අනෙක් පාර්ශවයට අයත් දෙවල් පිළිබඳ 
සංවාද සාකච්ඡා කිරීම තහනම් කිරීමක් අදහස් නොවේ. විද්‍යාව යනු අනුභූතික දේ පමණක් නොවේ. විද්‍යාඥයන් 
කටයුතු කරන්නේ ද ගණිතමය සත්‍යයන්, න්‍යායන්හි තර්කයන්, සමස්ත ක්‍රියාවලියට මඟ පෙන්වන වටිනාකම් 
ද ඇතුළු වූ තොරතුරුමය මාධ්‍යයක ගිලීමෙනි. එමෙන්ම දර්ශනය කටයුතු කරන්නේ ද භෞතික ලෝකයෙන් ගැලවුණු 
පාරිශුද්ධ ලෙස අදහස් වලින් පමණක් සමන්විත ලෝකයක නොවේ. හියුම්ගේ දාර්ශනික අදහස් වලට මනෝවිද්‍යාවේ 
හේතුඵලතාවය බලපෑ අතර කාන්ට් ඥානන මනෝවිද්‍යාඥයෙක් ද වීය. අද බොහෝ දාර්ශනිකයන්, අවමවශයෙන්
ඇන්ග්ලෝ සැක්සන් / විශ්ලේෂී දර්ශනයේදී, ස්වභාවවාදය (naturalism) පිළිගනියි. එනම් යථාර්ථය සවභාවදහමෙන්
 සමන්විත බවත් එහි පාරභෞතික යමක් නොමැති බවත් විද්‍යාත්මක ක්‍රමවේදය සියල්ල එනම් මනුෂ්‍ය ස්පිරිතුව ද 
ඇතුළත්ව සියල්ල අධ්‍යයනය කිරීමට යොදාගතයුතු බවත් ය.        

විද්‍යාව විශ්වය පාලනය කරනා නීතී වලට අරමුණක් නොමැති බව හෙළිදරවි කිරීම මඟින් අපට අපගේත් අප 
වර්ගයාගේත් පෘථිවියේත් වගකීම ගැනීමට බලකෙරෙයි. විද්‍යාත්මක කරුණු අපව යොමු කරන්නේ මානවයාගේත් 
අනෙක් හැඟීම් දැනීම් දැනෙන සත්වයාගේත් යහපත අරමුණු කරගත් සදාචාරයක් නොවේද?

විද්‍යාව ගර්හාවට ලක්කිරීම ද අද බරපතල තත්ත්වයකි. විද්‍යා විරෝධය එහි වර්ධනයට බාධාවකි. පර්යේෂණ සඳහා
 අද ඇති බාධා සැලකූ විට 2005 වසර වන තෙක් සොයාගෙන නොතිබුණා නම් X කිරණ පරීක්ෂාව, cardiac 
catheterization, සාමාන්‍ය නිර්විදකකාරක ආදිය කිසිසේත් සොයාගැනීමට නොහැකි බවයි පැවසෙන්නේ. 
ජීවවිද්‍යාආචාරධර්ම (bioethics) මඟින් පර්යේෂණ වලට බාධා කිරීම ඇත්ත වශයෙන්ම අචාරධර්ම විරෝධී විය හැක,
 මන්ද එනිසා ප්‍රතිකාර සොයාගැනීම ප්‍රමාද කිරීම නිසා දහස් ගනන් රෝගීන් මියයාහැකි නිසාය.     

    

එමෙන්ම කලා හා මානව ශාස්ත්‍ර සඳහා ආයෝජනය නොවීම ද සැලකිල්ලට ලක්විය යුතුය. ඓතිහාසික හැදෑරීමකින්
 තොර සමාජය හරියට මතකය නැති මනුෂ්‍යයෙකු වැනිය. දර්ශනය බිහිවන්නේ අපට තර්කය හා සුපැහැදිලිභාවය 
පහසුවෙන් අත්පත් කරගතහැකි නොවන බව පිළිගැනීම තුළින් ය. කලාවන් යනු අපගේ ජීවිත වඩාත් අර්ථාන්විත කරන,
 මනුෂ්‍ය අත්දැකීම වඩාත් පෝෂණය කරන දෙයකි.

එමෙන්ම මානව ශාස්ත්‍ර පශ්චාත් නූතනවාදී විනාශයෙන් (එහි ගූඪවාදයෙන්/ obscurantism, ස්වයං නිෂේධාත්මක
 සාපේක්ෂතාව / self refuting relativism, හා දේශපාලනික නිවැරදිභාවය / political correctness ) ගලවාගත
 යුතුව තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා එනම් නිට්ෂේ, හයිඩගර්, ෆූකෝ, ලැකාන්, ඩෙරීඩා හා විචාර න්‍යායවේදීන් 
(critical theorists) නූතනත්වය පිළිකුල්කටයුතු බවත්, සෑම ප්‍රකාශයක්ම පරස්පර විරෝධී බවත්, කලා නිර්මාණ 
යනු පීඩනයේ උපකරන බවත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ෆැසිස්ට්වාදය හා සමාන බවත් වැනි දෑ ප්‍රකාශ කළ රළු 
සංස්කෘතික සර්වාශුභවාදීන් ය.   

මානවවාදය (humanism)

   

සොබාදහම විසින් තහනම් කර ඇති ‘සියල්ල’, නියම දැනුම ඇත්නම් අත්පත් කරගත හැක. මෙහිදී සියල්ල යනු 
ඇත්තවශයෙන්ම සියල්ලයි. එයට එන්නත් හා ජෛව අවි ද (bioweapons), න්‍යෂටික අවි හා න්‍යෂ්ටික විදුලිය ද 
ආදී වශයෙනි. දැනුම තුළින් අප අත්පත් කරගැනීමට උත්සාහ කළ යුත්තේ මොනවාදැයි අපට පවසන්නේ මානවවාදයයි.
 මානවවාදය යනු අර්ථය හා ආචාරධර්ම වල පදනම ලෙස දෙවියන් වෙනුවට පාරභෞතික නොවන පදනමක් ඉල්ලා 
සිටින වර්ධනය වන ව්‍යාපාරයකි. 2003 වසරේදී Humanist Manifesto III  සහතික වන්නේ,

  1. ලෝකයේ දැනුම ලබා ගන්නේ නිරීක්ෂණයෙන්, පරීක්ෂණයෙන්, හා තාර්තික විශලේෂණයෙන් බවත්
  2. මනුෂ්‍යයා සොබාදහමේ අත්‍යන්ත කොටසක් හා පරිණාමයේ ප්‍රතිඵලයක් බවත්
  3. ආචාරධාර්මික වටිනාකම් ව්‍යුත්පන්න වන්නේ මානව අවශ්‍යතාවන් හා උවමනාවන් මත බවත් ඒවා අත්දැකීම් 
  4. තුළින් පරීක්ෂාවට භාජනය වන බවත්
  5. ජීවිතයේ පරිසමාප්තිය ඇත්තේ මානව පරමාදර්ශ සඳහා සේවය කිරීම තුළ බවත්
  6. මනුෂ්‍යයන් ස්වභාවයෙන්ම සමාජීය බවත් සබඳතා තුළින් අර්ථය සොයාගන්නා බවත්
  7. සමාජයට වාසිදායක වන ආකාරයට කටයුතු කිරීමෙන් පුද්ගලයාගේ සතුට වර්ධනය වන බවත් ය.



නමුත් අනෙකුත් ප්‍රබුද්ධත්ව වටිනාකම් මෙන්ම මානවවාදය ද මිනිසුන්ගේ මනස්වල පැලපදියම් වීමට නම් ඒවා ඒවා
 අද දවසේ භාෂාව හා අදහස් තුළින් පැහැදිලි කිරීම හා ආරක්ෂා කිරීම කල යුතු ය. ස්පිනොසා ආචාරධර්ම කෙරෙහි 
ලෞකික පදනමක්, එනම් ඔහුට අනුව “අපක්ෂපාතභාවය (Impartiality)” යෝජනා කළේය. එනම් මම මාව දූෂණය
 කරනවාට, බඩගින්නේ තබනවාට, මරාදමනවාට අකමැති නම් මට තවත් කෙනෙකුට එසේ කිරීමට නොහැකි ය 
යන්නයි. ඔහු උත්සාහ කළේ සදාචාරය තාර්කික පදනමක පිහිටු වීමටයි. ස්පිනොසාගේ අනන්තය පිළිබඳ දැක්ම, 
හොබ්ස්ගේ සමාජ ගිවිසුම, කාන්ට්ගේ නිරුපාධික විධිය (categorical imperative), රවුල්ගේ අවිද්‍යාවේ වේලය 
(Rawl’s veil of ignorance), නයිජල්ගේ නො-ස්ථානයක සිට බැලීම (view from nowhere), ලොක් හා 
ජෙෆර්සන්ගේ සෑම මනුෂ්‍යයෙකුම සමානව නිර්මාණය කර ඇත ආදිය මඟින් ද උත්සාහ කළේ ද එයයි. 

ඇමරිකානු නිදහස් ප්‍රකාශනයේ (declaration of independence) ජීවිතයට නිදහසට හා සතුට සොයා යාමට ඇති 
අයිතිය ස්වයං ප්‍රත්‍යක්ෂ (self evident) බව ප්‍රකාශකොට ඇත. ඇත්තටම එය හැමවිටම ස්වයං ප්‍රත්‍යක්ෂ ද

නැත. කෙනෙකු ජීවිතයට ඇති අයිතිය පරීක්ෂා කිරීමට ආරම්භ කළ වහාම එම පරීක්ෂාව සඳහා කෙනෙකු පැවතිය
 යුතු බව පිළිගැනීමට සිදුවෙයි. එනිසා එම අයිතිය ස්වයං ප්‍රත්‍යක්ෂ වෙයි. නයිජල්ගේ හේතුව පිළිබඳ තර්ක කළ 
නොහැක්කේ මන්ද යන්න පිළිබදව වූ අනුභූති උත්තර තර්කය (transcendental argument for non-negotiability 
of reason) මෙහිදී වැදගත් ය. එනම් හේතුවේ වලංගුභාවය පරීක්ෂාකිරීමේ `ක්‍රියාවම එහි වලංගුභාවය යුක්තියුක්ත 
කරයි යන්නයි. එනයින් හේතුව ක්‍රියාවේ යොදවන්නන්ද (reasoners) පූර්වයෙන් පැවතීම අනිවාර්ය වෙයි. ජීවිතයට
 ඇති අයිතිය යුක්තිසහගත කිරීමට පැරණි මානවවාදී  විශ්ලේෂණයන්ට ආත්මයක් අවශ්‍ය විය. එවැන්නකින් තොරව
 ජීවිතයට නිදහසට හා සතුට සොයා යාමට ඇති අයිතිය තහවුරු කළ හැකි දැයි බලමු.

ස්වභාවික වරණය මඟින් පමණක් සිරුරක් සහිත සත්වයෙකු එයට එරෙහිව නැගෙන සෑම යථාර්ථයේ සකස් වීමක්ම 
මැඬ ගනිමින් සිතන සිරුරක් බවට පත් වීම අරුමයක් නොවේද? ඒ සඳහා එන්ට්‍රොපියේ සෑම විනාශයක් ම ප්‍රමාණවත් 
කාලයක් දරාගෙන නොසිටින්නට එය සිදුවිය නොහැක. එනම් ඒවා පරිසරයෙන් ශක්තිය ලබාගෙන සීමිත තත්වයන් 
යටතේ එහි භෞතික ඒකාග්‍රතාවය රඳවා ගනිමින් ජීවී හා අජීවී ආක්‍රමණයන්ට මුහුණ දෙමින් සිටියා විය යුතුය. බුද්ධිය
 යනු ආකාස්මික ඇල්ගොරිතමයක් නොවන නිසා ඒවා ලෝකය පිළිබඳ තොරතුරු උකහාගැනීමට පෙළැඹෙවුවා විය
 යුතුය. ඔවුන් අනෙක් තාර්කික සත්වයන් හා සන්නිවේදනය කරයි නම් ඔවුන් අනෙකුන් හා අන්තර් සබඳතා පැවැත්වීම
 සඳහා කාලය හා ආරක්ෂාව අවදානමේ හෙළුවන් විය යුතුය. තාර්කික ජීවීන්ට ද්‍රව්‍යමය ලෝකයේ පැවතීමට අවශ්‍ය 
භෞතික අවශ්‍යතා, වියුක්ත සැලසුම් පිරිවිතරයන් ( abstract design specifications) නොව, අවශ්‍යතා, 
උවමනාවන්, හැඟීම්, සුඛ වේදනාවන් ඒවා අපගේ මොළයේ ස්ථාපිත වී තිබේ. සමස්තයක් වශයෙන් අපගේ 
මුතුන්මිත්තන් ජීවත් වූ පරිසරය තත්ත්ව යටතේ, තෘප්තිදායක අත්දැකීම් ඔවුන්ට ජීවත් වීමට හැකියාව ලබාදුන් අතර
 අතෘප්තිදායක අත්දැකීම් ප්‍රතිඵල රහිත අන්තයන් මුණගැස්සවීය. එහි අරුත නම් ආහාර, පහසුව, කුතුහලය, 
සුන්දරත්වය, උත්තේජනය, ආදරය, ලිංගික එක්වීම, අන්‍යෙන්‍ය විශ්වාසය ආදිය බාල විඳීම් හෝ අනවරත සැපය 
සොයායෑම්  (hedonistic distractions) නොවන බවයි. ඒවා අපගේ මනස පැනනැගීමේ මාවතේ පැවති හේතුකාරක 
අතර වෙයි. මිනිසුන් ඒවා සොයා නොගියේ නම් අද මිනිසුන් පවතින්නේ නැත.

පරිණාමය තවත් ලෞකික සදාචාර පදනමක් පැහැදිලි කරයි. එනම් අනුකම්පා කිරීමට අප සතු හැකියාවයි. පරිණාමීය
 මනෝවිද්‍යාව පැහැදිලි කරන පරිදි ලේ ඥාතීන් අතර අනුකම්පාව ජානමය සම්බන්ධය නිසා ඇතිවන්නකි. එය 
අපගේ මනෝවිද්‍යාත්මක සැකැස්ම තුළට කාවැදී ඇති නිසා හේතුව භාවිතා කර අපට එය තවත් පුළුල්කළ හැකිය.

මානවවාදයට ඇති දාර්ශනික විරෝධයක් වන්නේ එය හුදු උපයෝගීතාවයක් පමණෙකැයි (just utilitarianism) 
පැහැදිලි කිරීමයි. එනම් සදාචාරයේ පදනම ලෙස මානව යහපැවැත්ම වැඩිදියුණු කරනවා යනු වැඩි දෙනා වෙනුවෙන්
 වැඩි සතුටක් සහතික කිරීම වන බවයි (greatest happiness for the greatest number). ඇත්තටම මෙයට 
පිළිතුරු දීම ඉතා පහසුය. නගරවැසියන් මිනීමැරුමක් සම්බන්ධව කැරලි ගැසීමට ආසන්න නම් එයට බේබද්දෙකු 
කොටුකර එල්ලාමැරීම හරිද? ස්ථිර ලෙසම තෘප්තිදායක චිත්තරූප මවනා මත්ද්‍රව්‍යයක් ඇත්නම් අප එය ගත යුතු ද? 
 මෙවැනි චිත්තපරීක්ෂාවන්ගෙන් අපට යුක්තිවේදීය ආචාරධර්ම (deontological ethics), එනම් ක්‍රියාවේ ප්‍රතිඵල 
මත නොව යම්කිසි රීති මාලාවකට අනුව ක්‍රියාවක ආචාරධාර්මික බව තීරණය කිරීම, එනම් අයිතිවාසිකම්, යුතුකම්,
 මූලධර්ම වැනි දෑ මත එය තීරණය කිරීම දෙසට යොමු විය යුතු බව පෙනේ. මෙයින් මානවවාදයට උපයෝගීතාවාදීමය
 පැතිකඩක් නොමැති යයි අදහස් නොකෙරේ. ඇත්තවශයෙන්ම සම්භාව්‍ය උපයෝගීතාවාදීන් සිසරේ බෙකාරියා, 
ජෙරමි බෙන්තම්, ස්ටුවර්ට් මිල් වැන්නන් වහල්භාවයට, පරපීඩාකාමී දඬුවම් වලට, සතුන් කෙරෙහි වූ කෲරත්වයට, 
සමලිංගිකත්වය අපරාධමය වරදක් බවට පත්කිරීමට විරුද්ධව මුලින්ම තර්ක ගෙන ආවෝ ය. ජෝෂුවා ග්‍රීන්
 පවසන්නේ යුක්තිවේදීය ආචාරධර්මවල මූලය ඇත්තේ ගෝත්‍රවාදය  ආයතන, ශුද්ධත්වය, පිළිකුළ, සමාජ සම්මත
 ආදිය කෙරෙහි වූ ප්‍රෘථමික ආශයන් තුළින් බවයි. නමුත් උපයෝගීතා නිර්ණායක පැනනගින්නේ තාර්කික ඥානනය 
තුළින් බවයි. ඒ අනුව විවිධ සංස්කෘතික පසුබිම් ඇති මිනිසුන්ට සදාචාර කේතයන් හා එකඟ වීමට සිදු වූ විට ඔවුන් 
තෝරාගැනීමට නැමියාවක් දක්වන්නේ උපයෝගීතාමය දිශාවටයි. උදාහරණයක් ලෙස කාන්තාවන්ට නෛතික 
සම තත්තවය ලබා ගැනිම හා සමලිංගික විවාහය ආදියට ඉතා කෙටි කලකින් විශාල වෙනසක් කිරීමට හැකි වූයේ 
උපයෝගීතාමය තර්කය ආභාසයෙනි.

නමුත් මානවවාදය කාලයක පටන් පවතින විකල්ප දෙකක් හා ගැටෙමින් පවතියි. පළමු වැන්න නම් දිව්‍යමය 
සදාචාරයයි. එනම් සදාචාරය පවතින්නේ දෙවිකෙනෙකු විසින් අණකරන ලද නීතීන් වලට ගරුකිරීම තුළ බවයි.
 අනෙක නම් රොමෑන්තික වීර පරාක්‍රමයන් ය, එනම් සදාචාරය සමන්විත වන්නේ ශුද්ධත්වය, අව්‍යාජභාවය, සහ
 පුද්ගල හෝ ජාතියක ශ්‍රේෂ්ඨබව තුළ බවයි. එය ඒකාධීකාරී ජනප්‍රියවාදය, නියෝ-ෆැසිස්ට්වාදය, නියෝ-ප්‍රතික්‍රියාවාදය
 (neo-reaction), විකල්ප-දක්ෂිණාංශිකවාදය (alt-right) වැනි තත්කාලීන ප්‍රවනතා තුළද දැකිය හැකිය.

අපට දෙවියන්ගෙන් තොරව සදාචාරයක් පැවතිය හැකිද? දෙවියන්ගේ අවශ්‍යතාව අපගේ DNA වලම ලියැවී ඇති
 දෙයක් ද? දිව්‍යමය සදාචාරයේ බරපතල අඩුපාඩු ඇත. පළමුවැන්න නම් දෙවි කෙනෙකු සිටී යයි විශ්වාස කිරීමට 
හේතුවක් නොමැති වීමයි. භක්තිය, හෙළිදරව්ව, ශුද්ධ ලියවිලි, අධිකාරිය, සම්ප්‍රදාය, ආත්මීය ආකර්ෂණය ආදිය 
නියම තර්කයන් නොවේ. දෙවියන් පවතී යන්නට ඇති විශ්වීය හෝ සත්භාවාත්මක තර්කද තාර්කිකව පරස්පර 
විරෝධී ය. තවත් තර්කයක් නම් ආගම සම්බන්ධයෙන් නිගමන දීමට විද්‍යාවට හැකියාවක් නොමැති බවයි. 
නමුත් ආගමික අදහස් පැහැදිලිවම විද්‍යාත්මකව පරීක්ෂා කළ හැකිය. බයිබලයේ ඓතිහාසික කරුණු පුරාවිද්‍යාව,
 ජානවේදය හා වාග්විද්‍යාව මඟින් ද, යාඥා මගින් මිනිසුන් සුව වෙනවාද යන්න ද, දැඩිලෙස ආගම අදහන්නන් 
සමස්තයක් ලෙස යහපත් ලෙස රෝගාබාධ හා අවාසනාවන්ගෙන් මුක්තව වාසය කරනවා ද යන්න පරීක්ෂා කළ හැකිය.

දෙවියන් ප්‍රතික්ෂේප කිරීම තුළින් මිනිසුන් තමතමාට කැමති පරිදි සදාචාරය අර්තකථනය කරනු ඇතැයි (moral 
relativism) පැවසෙන මුත් සත්‍ය වශයෙන් ම සිදුවී  ඇත්තේ ප්‍රතිවිරුද්ධ දේයි. මානවවාදී සදාචාරය පදනම් වන්නේ 
හේතුව හා මානව යහපැවැත්ම යන පාදම මතයි. තත්ත්කාලීන සදාචාර දාර්ශනිකයන් වන නගෙල් (Nagel), 
ගෝල්ඩ්ස්ටයින් (Goldstein), පීටර් සිංගර් (Peter Singer), පීටර් රේල්ටන් (Peter Railton), රිචඩ් බොයිඩ්
 (Richard Boyd), ඩේවිඩ් බ්‍රින්ක් (David Brink), ඩෙරෙක් පාර්ෆිට් (Derek Parfit) වැන්නන් සදාචාර සත්වාදීන් ය 
(moral realists). එනම් ඔවුන් තර්ක කරනුයේ සදාචාර ප්‍රකාශයන් භෞතික බව (objectively true) නොවේ ද? 
නමුත් ආගම් ඇත්ත වශයෙන්ම ආවේණිකවම සාපේක්ෂතාශ්‍රිත (relativistic) වෙයි.

අදේවවාදය යනු සදාචාර දහමක් නොවේ. එය හුදු අධිස්වභාවික දේ, එනම් දෙවියන් වැනි දේ ගැන විශ්වාස කිරීමට
 මැලි වීමයි. දේවවාදය සඳහා ඇති සදාචාර විකල්පය නම් මානවවාදයයි.

පරිපූර්ණ ලෝකයක් කියා දෙයක් නැති බවත් පරිපූර්ණ ලෝකයක් පැතීමම භයානක බවත්, අවශ්‍ය වන්නේ ජීවිතය
 මරණයට වඩා හොඳ බවත්, රෝගීවිමට වඩා නීරෝගී වීම හොඳ බවත්, නැතිකමට වඩා ඇතිකම හොඳ බවත්, 
බලහත්කාරකමට වඩා නිදහස හොඳ බවත්, විඳවීමට වඩා සතුට හොඳ බවත්, නොදැනුම හා විශ්වාසයට වඩා දැනුම
 හොඳ බවත් හොඳින් වටහා ගැනීමයි.  

මේ වන විටත්  මේ ලිපිය අනවශ්‍ය තරම් දිග් ගැස්සී ඇති බැවින් ද පින්කර්ගේ මානවවාදය පිළිබඳ හා එයට එරෙහිව
 පැන නැඟී ඇති මතවාද වලට පිළිතුරු දෙන කෘතියේ අවසාන කොටස සම්පූර්ණයෙන් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික 
නැති නිසා ද මෙතැනින් නවතිමි. 


දත්ත සඳහා නිර්දේශ කළ හැකි වෙබ් අඩවි

  • https://ourworldindata.org/
  • https://www.gapminder.org/


              




   

ප්‍රබුද්ධත්වය හා ප්‍රගතිය - ස්ටීවන් පින්කර් ස්ටීවන් පින්කර් පිළිබඳ තැන තැන කියවෙන නිසා මට හිතුන ඒ ගැන යමක් ලියන්න. පින්කර් කියන්නේ...